කුල කුමරිය වූ මෙහෙකාරිය - sinhala ketikatha

Sinhala ketikatha
0

 


කුරුණෑගල ඉඳන් ආපු බස් එකෙන් බැස්ස නිසලි ගාව තිබුණේ රෙදි ටිකක් දාපු පරණ බෑග් එකක් විතරයි.


 කොටුවෙන් බැහැලා බම්බලපිටියට එනකන්ම එයා හිටියේ බයෙන්. 


පාරවල් හොයාගෙන කොහොම හරි සන්ධ්‍යා මහත්මියගේ ලොකු ගෙදර ගේට්ටුව ගාවට එද්දී නිසලිට දැනුණේ ලොකු තෙහෙට්ටුවක්.


​"එන්න දුවේ... ඇතුළට එන්න. මහන්සි ඇතිනේ," සන්ධ්‍යා නෝනා නිසලිව පිළිගත්තේ කරුණාවන්ත විදිහට.


 නිසලිට පෙන්නුවේ කුස්සිය අයිනේ තිබුණ පොඩි කාමරයක්.


 "ඔය බෑග් එක තියලා මූණ කට හෝදගෙන එන්න. අද වැඩ කරන්න ඕන නැහැ, හෙට ඉඳන් පටන් ගමු."


​නිසලි මූණ හෝදගෙන ඇවිත් කුස්සියේ සන්ධ්‍යා නෝනට උදව් කරන්න හැදුවා.


 ඒ වෙලාවේ තමයි සදීශ් ගෙට ඇතුළු වුණේ.


 එයා ආවේ ජිම් එකට ගිහින්. 


දාඩිය පෙරාගෙන ආපු සදීශ් කුස්සියට ඇවිත් කෙලින්ම ගියේ ෆ්‍රිජ් එක ගාවට.


​එතන අලුත් මූණක් ඉන්නවා දැක්කත් සදීශ් ඒක ගණන් ගත්තේ නැහැ. එයා වතුර බෝතලයක් අරන් එක හුස්මට බීලා ඉවර කළා.


​"සදීශ්... මේ අද වැඩට ආපු නිසලි," සන්ධ්‍යා පුතාව හඳුන්වලා දුන්නා.


​සදීශ් හිස් වතුර බෝතලය සින්ක් එකට දාලා, නිසලි දිහා එක තත්පරයක්වත් බලන්නේ නැතුව අම්මා දෙසට හැරුණා.


 "අම්මේ, මගේ වයිට් ෂර්ට් එක අයන් කරලා තියන්න කියන්න. හෙට මට මීටින් එකක්," එයා එච්චරයි කිව්වේ.


 නිසලි ඉන්නවාද නැද්ද කියන එක එයාට වැඩක් වුණේ නැහැ.


​"ඒක මම කරන්නම් මහත්තයා," නිසලි හීන් හඬින් කිව්වා.

​සදීශ් ඒකට උත්තරයක් දුන්නෙත් නැහැ. 


එයා ෆෝන් එක බල බල උඩ තට්ටුවට ගියා. 


නිසලිට දැනුණේ තමන් ඒ ගෙදර තියෙන තවත් එක බඩුවක් විතරයි කියලා.


​හවස් වෙද්දී නිසලි සාලේ අතුගාන්න ගත්තා. 


සදීශ්ගේ තාත්තා ආවෙත් හරිම නිහඬව. ඒත් පොඩි පුතා කෙවින් නම් සාලෙට ඇවිත් ප්ලේස්ටේෂන් එක දාගෙන සෙල්ලම් කරන ගමන් "අක්කේ, මට වතුර එකක් ගේන්නකෝ" කියලා නිසලිට කිව්වා. 


කෙවින්ට නම් නිසලිව අමුත්තක් වුණේ නැහැ.


​රෑ වෙද්දී වැස්සක් පටන් ගත්තා.


 නිසලි තමන්ගේ කාමරේ ඇඳ උඩ වාඩි වෙලා ගෙදර මතක් කර කර හිටියා. එකපාරටම සාලේ පැත්තෙන් සදීශ්ගේ සද්දයක් ඇහුණා.


​"මේ කවුද සාලේ ලයිට් එක ඕෆ් කළේ? මේකේ මනුස්සයෙක්ට ඇවිදින්න බැහැනේ!" සදීශ් කෑගහනවා.


​නිසලි බයෙන් දුවගෙන සාලෙට ගියා. 


"සමාවෙන්න මහත්තයා... මම හිතුවේ කවුරුත් නැහැ කියලා."


​" ඉන්නවාද නැද්ද කියලා බලලා ලයිට් ඕෆ් කරනවා. වැඩක් දුන්නම ඒක හරියට කරන්න පුරුදු වෙන්න," 


සදීශ් ගස්සගෙන තමන්ගේ කාමරයට ගිහින් දොර වහගත්තා.


​නිසලි අඳුරේම සාලේ මැද තනි වුණා. 


සල්ලි තියෙන මිනිස්සුන්ගේ ගෙවල්වල වැඩ කරන එක තමන් හිතුවට වඩා හරිම රළු අත්දැකීමක් කියලා නිසලිට එදා රෑ තේරුණා. 


දෙන්නා අතරේ ආදරයක් තියා හරි හමන් හිනාවක්වත් ලඟකවත් තිබුණේ නැහැ.


පහුවදා උදේ නිසලි ඇහැරුණේ පාන්දර පහට විතර. 


අලුත් ගෙදර නිසා එයාට හරි හැටි නින්දක් ගියෙත් නැහැ.


 කුස්සියට ගිහින් සන්ධ්‍යා නෝනට උදව් කරන ගමන් සදීශ්ගේ අයන් කරන්න දීපු සුදු ෂර්ට් එකත් නිසලි හරිම පරිස්සමින් අයන් කරලා තිබ්බා.


​"නිසලි, සදීශ් පුතාගේ කාමරේට ගිහින් ටී එක දීලා එන්නකෝ. මම මේ කෑම එක හදනවා," සන්ධ්‍යා නෝනා කිව්වා.


​නිසලි බය වුණා. ඊයේ රෑ වෙච්ච දේ එක්ක සදීශ්ගේ කාමරේට යන්නත් එයාට බයයි. 


ඒත් නෝනා කිව්ව නිසා ටී එකත් අරන් හිමීට උඩ තට්ටුවට ගියා. කාමරේ දොර ටිකක් ඇරිලා තිබුණේ. 


නිසලි හීන් සීරුවේ ඇතුළට එබුණා.


​සදීශ් හිටියේ ලැප්ටොප් එකත් දාගෙන සීරියස් වැඩක. කාමරේ පුරාම පොත් පත්, ෆයිල්ස් විසිරිලා.


​"ම... මහත්තයා, මේ ටී එක," නිසලි වෙව්ලන හඬින් කිව්වා.


​සදීශ් ලැප්ටොප් එකෙන් ඇස් ගත්තේ නැහැ. 


"ඕක ඔතන මේසෙන් තියලා, අර ෂර්ට් එක හැඟර් එකෙන් දාලා යන්න," එයා නිකන් මැෂින් එකක් වගේ කිව්වා.


​නිසලි තේ එක තියලා, අයන් කරපු ෂර්ට් එක හැඟර් එකට දාන්න හැදුවා. ඒ වෙලාවේ එයාගේ අතින් අත්වැරදීමකින් මේසෙ උඩ තිබුණ ෆයිල් එකක් බිම වැටුණා.


 ඒකේ තිබුණ කොළ ටික හැමතැනම විසිරුණා.


​"අයියෝ... සොරි මහත්තයා!" නිසලි කලබල වෙලා කොළ ටික අහුලන්න හැදුවා.


​සදීශ් එකපාරටම පුටුවෙන් නැගිට්ටා. 


එයාගේ මූණ රතු වෙලා.


 "තමුසෙට කිව්වේ ෂර්ට් එක දාලා යන්න විතරයිනේ! කවුද කිව්වේ මගේ ෆයිල්ස් අල්ලන්න කියලා? බලනවා දැන් මේකේ පිළිවෙළක් තියෙනවාද කියලා!"


​"මම... මම හිතලා කරේ නැහැ මහත්තයා," නිසලිගේ ඇස්වලට කඳුළු පිරුණා.


​"හිතලා කරේ නැති වුණාට වැඩේ වුණානේ. දැන් යනවා මෙතනින්. ආයේ මගේ කාමරේට එන්න එපා අම්මා නැතුව," සදීශ් සැරෙන් කිව්වා.


​නිසලි අඬාගෙනම පල්ලෙහට දිව්වා. 


සන්ධ්‍යා නෝනා ඒක දැකලා සදීශ්ට කෑගැහුවත්, සදීශ් ඒක ගණන් ගත්තේ නැහැ.


නිසලිට එදා දවසම එපා වුණා. එයාට හිතුණේ මේ රස්සාව දාලා ගෙදර යන්න.


​හවස් වෙද්දී නිසලි වත්තේ පැළ වලට වතුර දාමින් හිටියේ හිතේ අමාරුවෙන්. 


එයා දැක්කා සදීශ් කාර් එකේ එළියට යන්න හදනවා. 


ගේට්ටුව ගාවදී සදීශ්ට පෙනුණා නිසලි තනිවම ඉකි ගගහා අඬනවා.


​සදීශ්ට මොහොතකට තමන් කරපු දේ වැරදියි කියලා හිතුණා. 


පව්, ඒ කෙල්ල මේ ගෙදරට ඇවිත් දවස් දෙකයි. 


ඒත් සදීශ්ගේ ආඩම්බර හිත ඉඩ දුන්නේ නැහැ බැහැලා ගිහින් "සොරි" කියන්න. 


එයා වේගයෙන් කාර් එක පදවාගෙන ගියා.


​රෑ වෙලා සදීශ් ගෙදර එද්දී හැමෝම නිදාගෙන. 


කුස්සියට ගිය සදීශ් දැක්කා කෑම මේසය උඩ වහලා තිබුණ කෑම එක ළඟ පොඩි කොළ කෑල්ලක් තියෙනවා.


​"මහත්තයා, මම අර කොළ ටික පිළිවෙළට තිබ්බා. මට සමාවෙන්න."


​සදීශ් කාමරේට ගිහින් බැලුවා.


 ඇත්තටම නිසලි ඒ විසිරුණු කොළ ටික අංක පිළිවෙළට හරිම ලස්සනට අහුරලා තියලා. 


සදීශ්ට තේරුණා මේ කෙල්ල නිකන්ම නිකන් වැඩකාරියක් විතරක් නෙවෙයි, හරිම වගකීමක් තියෙන කෙල්ලෙක් කියලා.


​සදීශ් එදා රෑ නිදාගත්තේ නිසලි ගැන අමුතු ගෞරවයකින්.


 හැබැයි ඒක ආදරයක් නෙවෙයි, මිනිහෙක් විදිහට ඇති වෙච්ච හැඟීමක් විතරයි.


​පහුගිය දවසේ සිද්ධියෙන් පස්සේ නිසලි පුළුවන් තරම් සදීශ්ගේ ඇස ගැටෙන එක අඩු කළා. 


සදීශ් උඩ තට්ටුවේ ඉන්න වෙලාවට නිසලි පල්ලෙහ වැඩ කළා.


 සදීශ් පල්ලෙහට එද්දී නිසලි හෙමින් සැරේ කුස්සියට මාරු වුණා.


​"නිසලි, අද සදීශ්ලගේ තාත්තගේ යාළුවෝ වගයක් එනවා රෑට කෑමට. මට උදව් වෙන්න ඕනේ හොඳේ," 


සන්ධ්‍යා නෝනා උදේම කිව්වා.


​නිසලි එදා දවසම මහන්සි වුණා.


 ගේ අස්පස් කරලා, කෑම ජාති හය හතක් හදන්න සන්ධ්‍යා මහත්මියට උදව් කළා.


 සදීශ් හිටියේ එයාගේ කාමරේ වැඩ වගයකට හිර වෙලා.


 හැබැයි කුස්සියෙන් එන රහ කෑම සුවඳ සදීශ්ටත් දැනුණා.


​රෑ යාළුවෝ ආවම සාලේ හරිම කලබලයි. නිසලි හරිම පිළිවෙළට කෑම බෙදලා, ඒ අයට සංග්‍රහ කළා. 


සදීශ්ගේ තාත්තාගේ යාළුවෙක් නිසලි දිහා බලලා ඇහුවා, "සන්ධ්‍යා, මේ අලුත් ළමයෙක්ද? හරිම පිළිවෙළයිනේ."


​"ඔව්, . හරිම හොඳ ළමයෙක්," සන්ධ්‍යා නෝනා කිව්වේ සතුටින්.


 සදීශ් සාලේ කෙළවරක ඉඳන් මේ හැමදේම බලන් හිටියා.


 නිසලි තමන්ගේ වැඩේ හරිම නිහතමානීව කරන විදිහ ගැන එයාටත් පොඩි පැහැදීමක් තිබුණා.


​වැඩේ ඉවර වෙලා යාළුවෝ ගියාට පස්සේ වෙලාව රෑ දොළහටත් කිට්ටුයි.


 සන්ධ්‍යා නෝනා මහන්සි නිසා එයා නිදාගන්න ගියා. 


නිසලි තනියම කුස්සියේ ඉතිරි වෙච්ච පිඟන් ටික හෝදමින් හිටියා.


​එකපාරටම සදීශ් කුස්සියට ආවේ වතුර බොන්න. නිසලි දැක්කේ නැහැ සදීශ් එනවා. 


එයා පිඟන් හෝදන ගමන් හෙමින් සීරුවේ සිංදුවක් මුමුණමින් හිටියා. 


ඒක හරිම ලස්සන, තනුවක්.


​සදීශ් වතුර බොන එක නතර කරලා මොහොතක් ඒ හඬට ඇහුම්කන් දුන්නා. 


"තමුසෙට සින්දු කියන්නත් පුළුවන්ද?"


​නිසලි ගැස්සිලා හැරුණා. අතේ තිබුණ පිඟාන ලිස්සලා යන්න ගියත් එයා බේරගත්තා.


 "ම... මහත්තයා... මම නිකන්..."


​"හ්ම්... තවම වැඩ ඉවර නැද්ද?" සදීශ් ඇහුවේ වෙනදා තරම් සැරෙන් නෙවෙයි.


​"දැන් ඉවරයි මහත්තයා. මහත්තයලාට කෑම එහෙම හොඳද?" නිසලි හිමීට ඇහුවා.


​"නරක නැහැ. අර අල එකේ ලුණු පොඩ්ඩක් වැඩියි වගේ," සදීශ් බොරුවට වැරැද්දක් කිව්වා. 


ඇත්තටම කෑම හරිම රසයි.


​නිසලිගේ මූණ ටිකක් ඇඹුල් වුණා.


 "සමාවෙන්න මහත්තයා, මම හෙට ඉඳන් ඒක බලාගන්නම්."


​සදීශ් මොකුත් නොකියා උඩට යන්න හැරුණා. 


හැබැයි පඩිපෙළ ගාවදී එයාට මතක් වුණා නිසලිගේ ගෙදර ගැන සන්ධ්‍යා නෝනා කියපු කතාවක්. 


සදීශ් නතර වෙලා ඇහුවා, "ගෙදරට සල්ලි යැව්වාද?"


​නිසලි පුදුම වෙලා සදීශ් දිහා බලන් හිටියා.


 "තාම නැහැ මහත්තයා. ලබන මාසේ පඩිය ලැබුණම තමයි යවන්න වෙන්නේ. අම්මාට බෙහෙත් ගන්නත් සල්ලි ඕන වෙලා තියෙන්නේ."


​සදීශ්ගේ හිතට පොඩි කණගාටුවක් දැනුණා. 


එයා සාක්කුවට අත දාලා රුපියල් දාහේ කොළ පහක් විතර අරන් කුස්සියේ මේසය උඩින් තිබ්බා.


​"ඕක තියාගන්නවා. මේ මාසේ පඩියෙන් පස්සේ කපාගන්නම්. ගෙදරට යවන්න," සදීශ් එහෙම කියලා නිසලි උත්තරයක් දෙන්නත් කලින් උඩට ගියා.


​නිසලි ඒ සල්ලි දිහා බලන් හිටියේ අදහගන්න බැරුව. 


සදීශ් කියන්නේ හිත අස්සේ මොකක් හරි මනුස්සකමක් හංගගෙන ඉන්න, ඒක එළියට පෙන්වන්න අකමැති මිනිහෙක් කියලා නිසලිට එදා හිතුණා.


සදීශ් දීපු සල්ලි නිසා නිසලිගේ හිතේ තිබුණ ලොකු බරක් අඩු වුණා. 


එයා පහුවදාම ඒ සල්ලි අම්මාට යැව්වා. 


හැබැයි සදීශ් එක්ක කතා කරන්න නම් නිසලි තාමත් බයයි.


 සදීශ් වුණත් සල්ලි දුන්නට පස්සේ ආයෙත් වෙනදා වගේම නිහඬව, තමන්ගේ වැඩක් කරගෙන හිටියා.


​එදා හවස ලොකු නෝනයි, මහත්තයයි දෙන්නම එළියට ගිහින් හිටියේ මගුල් ගෙදරක. 


ගෙදර හිටියේ සදීශ්, කෙවින් සහ නිසලි විතරයි. සදීශ් උඩ තට්ටුවේ කාමරේට වෙලා වැඩ. 


කෙවින් සාලේ යාළුවෝ වගයක් එක්ක වීඩියෝ ගේම් එකක් ගහනවා.


​"අක්කේ! අක්කේ! පොඩ්ඩක් මෙහෙට එන්නකෝ!" කෙවින් සාලේ ඉඳන් කෑගැහුවා.


​නිසලි දුවගෙන ආවා. "ඇයි කෙවින් මහත්තයා?"


​"අනේ අක්කේ, අපිට මොනවා හරි කන්න හදලා දෙන්නකෝ. බඩගිනියි. මේ යාළුවොත් ඉන්නවනේ," කෙවින් හිනා වෙවී කිව්වා.


​නිසලි ඉක්මනට කුස්සියට ගිහින් පේස්ට්‍රි වගයක් හදලා, ඒවයි බීමයි අරන් සාලෙට ආවා. 


කෙවින්ලා සාලේ මැද දඟල දඟල ගේම් එක ගහනවා. නිසලි බීම වීදුරු ටික මේසෙන් තියන්න හදනකොටම, කෙවින් එකපාරටම නැගිට්ටා.


​"ගෝල්!!!!" කෙවින් කෑගහගෙන අත් දෙක විසි කරද්දී, එයාගේ අත වැදුණේ නිසලි අල්ලන් හිටපු ට්‍රේ එකේ.


​බීම වීදුරු තුන හතරම බිම වැටිලා කුඩු වුණා. 


ඒ විතරක් නෙවෙයි, රතු පාට බීම සාලේ තියෙන සුදු පාට මිල අධික කාපට් එක පුරාම හැලුණා.


​නිසලි ගල් වුණා. 


කෙවින්ගේ යාළුවොත් බය වෙලා සද්ද නැතුව හිටියා.


 "අයියෝ... මම හිතලා කරේ නැහැ අක්කේ," කෙවින් කලබල වුණා.


​"මොකක්ද මේ වුණේ?"


​සදීශ් පඩිපෙළ උඩ ඉඳන් සද්දෙට පල්ලෙහට ආවා. 


සාලේ තිබුණ විනාශය දැක්කම සදීශ්ගේ මූණ යක්ෂයෙක් වගේ වුණා. 


ඒ කාපට් එක සදීශ්ගේ තාත්තා රට ඉඳන් ගෙනාපු හරිම ගණන් එකක්.


​"නිසලි! තමුසෙට බලාගෙන වැඩ කරන්න බැරිද?" සදීශ් කෑගැහුවා.


​"නෑ අයියේ, ඒක නිසලි අක්කගේ වැරැද්දක් නෙවෙයි. මගේ අත වැදිලා..." කෙවින් බය වෙලා කියන්න හැදුවා.


​"උඹ කට වහපන් කෙවින්! මම දන්නවා මෙයාගේ හැටි. එක දවසක් ෆයිල්ස් අවුල් කළා, අද කාපට් එක ඉවරයි. අම්මා නැති වෙලාවට තමුසෙලා සාලේ පිස්සු නටනවාද?"


 සදීශ් නිසලිට බනින්නේ පුදුම තරහකින්.


​නිසලි දණගහගෙන වීදුරු කටු අහුලන්න ගත්තා. 


එයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා. "සමාවෙන්න මහත්තයා... මම මේක හෝදන්නම්."


​"ඕක හෝදලා ඉවර කරන්න බැහැ! තමුසෙලා වගේ ගම්වලින් ආපු අයට මේවගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ."


 සදීශ් එහෙම කියද්දී නිසලිගේ හදවත පෑරුණා.


 දුප්පත්කමට අපහාස කරන එක නිසලිට ඉවසන්න බැරි වුණා.


​නිසලි වීදුරු කටු අහුලද්දී එකපාරටම එයාගේ ඇඟිල්ලක් කැපුනා. 


ලේ විදින්න ගත්තත් නිසලි ඒක ගණන් ගත්තේ නැහැ. 


සදීශ් ඒක දැක්කා. එයාගේ තරහ එකපාරටම නිවුණා වගේ වුණත්, යාළුවෝ ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි නිසා එයා ආයෙත් සැර කළා.


​"දැන් ඔය ලේ ටිකත් කාපට් එකේ ගෑවෙයි. යනවා කුස්සියට ගිහින් බෙහෙත් දාගන්නවා! කෙවින්, තමුසේ දැන්ම යාළුවොත් එක්ක මේක අස් කරනවා!"


​නිසලි අතත් අල්ලගෙන කුස්සියට දිව්වා. 


සදීශ් සාලේ මැද තනි වුණා. 


එයාට තේරුණා තමන් අද වැඩියෙන් බැන්නා කියලා.


 කෙවින්ගේ වැරැද්දට නිසලිට බැනපු එක වැරදියි කියලා හිත කියද්දී, සදීශ් හෙමින් සැරේ කුස්සිය පැත්තට ඇවිදගෙන ගියා.


කුස්සියට ආපු නිසලි සින්ක් එකට අත අල්ලගෙන ලේ ටික හෝදලා දැම්මා. 


ඇඟිල්ල ටිකක් තදට කැපිලා. 


වේදනාවට වඩා නිසලිට දැනුණේ සදීශ් තමන්ගේ දුප්පත්කමට අපහාස කරපු එක ගැන ලොකු කලකිරීමක්.


 "අපි ගම්වලින් ආවට අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා," නිසලි හිතින් මුමුණගත්තා.


​සදීශ් කුස්සියට එද්දී නිසලි රෙදි කෑල්ලකින් ඇඟිල්ල තද කරගෙන හිටියා. 


සදීශ් දැක්කා නිසලිගේ ඇස් රතු වෙලා තියෙනවා.


​"බෙහෙත් දැම්මාද?" සදීශ් ඇහුවේ ටිකක් තැන්පත් හඬකින් වුණත් ඒකේ ලොකු කරුණාවන්තකමක් තිබුණේ නැහැ.


​නිසලි උත්තරයක් දුන්නේ නැහැ. බිම බලාගෙනම හිටියා.


​"මම ඇහුවේ බෙහෙත් දැම්මාද කියලා?" සදීශ් ආයෙත් ඇහුවා.


​"නෑ මහත්තයා, ඕක නිකන්ම හරි යයි. මහත්තයා කිව්වා වගේ මම ගමක කෙල්ලෙක්නේ. අපිට ඔය කැපුම් තුවාල අමුතු දේවල් නෙවෙයි," 


නිසලි කිව්වේ හිතේ තියෙන අමාරුව වචන වලට පෙරලලා.


​සදීශ් මොහොතකට ගොළු වුණා. 


නිසලි එයාට ඒ විදිහට උත්තරයක් දෙයි කියලා සදීශ් හිතුවේ නැහැ.


 "තමුසේ දැන් මට රිප්ලයි කරන්නත් පටන් ගත්තාද?" සදීශ් ඇහුවා.


​"නෑ මහත්තයා, මම මගේ තත්ත්වය මහත්තයාට මතක් කරලා දුන්නේ විතරයි. මම කාපට් එක හෝදලා දෙන්නම්. ඒකට යන සල්ලි මගේ පඩියෙන් කපාගන්න." නිසලි එහෙම කියලා කුස්සියෙන් එළියට යන්න හැරුණා.


​පහුවදා උදේ ලොකු නෝනා ගෙදර ආවා. 


කාපට් එකේ පැල්ලම දැක්කම එයාට ටිකක් තරහ ගියා.


 කෙවින් ඇත්තම විස්තරේ කිව්වා. 


"අම්මේ ඒක මගේ අතින් වුණේ. අයියා නිකන් නිසලි අක්කාට බැන්නා."


​ලොකු නෝනා සදීශ්ට ඒ ගැන දෝෂාරෝපණය කළා. 


"සදීශ්, ඔයා ඒ ළමයාට බනින්න ඕන නැහැ. ඒක වැරදීමක්නේ. ඔයා සල්ලි තියෙන පළියට අනිත් අයව හෑල්ලු කරන්න එපා."


​සදීශ් මුකුත් නොකියා ඔෆිස් යන්න ලෑස්ති වුණා. 


හැබැයි එදා දවසම එයාට වැඩක් කරගන්න බැරි වුණා.


 නිසලිගේ ඒ "කැපුනු" වචන ටික සදීශ්ගේ හිතේ වැඩ කළා. 


​සවස සදීශ් ගෙදර එද්දී නිසලි වත්තේ අතුගාමින් හිටියා. සදීශ් කාර් එකෙන් බැහැලා නිසලි ගාවට ඇවිදගෙන ගියා.


 නිසලි අතුගාන එක නතර කරලා පසෙකට වුණා.


​සදීශ් සාක්කුවෙන් කුඩා බෙහෙත් ටියුබ් එකක් සහ ප්ලාස්ටර් පැකට් එකක් නිසලි දෙසට දික් කළා. 


"ඔය ඇඟිල්ලට ගාගන්නවා. තුවාලේ පැසවයි නැත්නම්."




​නිසලි ඒක ගත්තේ නැහැ. "එපා මහත්තයා, මම බෙහෙත් දැම්මා."


​"ගන්නවා කිව්වම ගන්නවා. මට ඕන නැහැ මේ ගෙදර වැඩ කරන අය ලෙඩ වෙනවා දකින්න. එතකොට අම්මාට තමයි කරදරේ," සදීශ් ඒක නිසලි ළඟ තිබුණ බංකුව උඩින් තියලා වේගයෙන් ඇතුළට ගියා.


​නිසලි ඒ බෙහෙත් ටියුබ් එක දිහා බලන් හිටියා. 


සදීශ් කියන්නේ හරිම අමුතු චරිතයක්. 


වෙලාවකට පුදුම නපුරුකමක්, තව වෙලාවකට නොපෙනෙන මනුස්සකමක්. හැබැයි තවමත් දෙන්නා අතර තියෙන්නේ ලොකු පරතරයක්.


පහුවදා නිවාඩු දවසක් වුණත් සදීශ් හිටියේ නිකන් මළ පැනලා වගේ.


 නිසලිත් සදීශ් ඉන්න මානයකවත් පේන්න හිටියේ නැහැ.


 සදීශ් පල්ලෙහට එන සද්දේ ඇහෙද්දීම නිසලි කුස්සියට හරි වත්තට හරි මාරු වුණා.


 ඒක සදීශ්ට අමුතු කරදරයක් වුණා.


​සදීශ් සාලෙට වෙලා පත්තරයක් බල බල ඉද්දී ලොකු නෝනා ලෑස්ති වෙලා එළියට ආවා.


​"සදීශ්, නිසලිට අද උදේ ඉඳන් උණ වගේ . මම ඒ ළමයට කිව්වා අද වැඩ කරන්න එපා, කාමරේට වෙලා ඉන්න කියලා. මට පොඩි ගමනක් යන්න තියෙනවා, පොඩ්ඩක් ඒ ළමයා ගැන බලන්න," ලොකු නෝනා කිව්වා.


​"කෙවින් ඉන්නවනේ අම්මේ," සදීශ් පත්තරෙන් ඇස් ගන්නේ නැතුවම කිව්වා.


​"කෙවින් යාළුවෙක්ගේ ගෙදර ගියා.


 තාත්තා එන්නත් රෑ වෙයි. මම මේ දොර ලොක් කරගෙන යන්නේ. නිසලිට මොනවා හරි ඕන වුණොත් බලන්න," ලොකු නෝනා එහෙම කියලා පිටත් වුණා.


​මුළු ගෙදරම හරිම නිශ්ශබ්දයි. සදීශ්ට ඒක අමුතුයි.


 සාමාන්‍යයෙන් නිසලි ගේ අස් කරන සද්දේ හරි, මොනවා හරි මුමුණන හඬ හරි ඇහෙනවනේ. 


සදීශ්ට වැඩක් කරගන්න බැරුව කාමරේට ගියත් හිත තිබුණේම පල්ලෙහ කුස්සිය අයිනේ තියෙන නිසලිගේ කාමරේ ළඟ.


​පැයක් විතර ගියාට පස්සේ සදීශ් කුස්සියට ආවේ වතුර බොන්න. 


එයා දැක්කා සින්ක් එකේ හෝදපු නැති පිඟන් දෙක තුනක් තියෙනවා.


 නිසලි සාමාන්‍යයෙන් වැඩක් දාලා තියන කෙනෙක් නෙවෙයිනේ. සදීශ් හෙමින් සැරේ නිසලිගේ කාමරේ දොර ගාවට ගියා.


​දොර පොඩ්ඩක් ඇරිලා තිබුණා. නිසලි ඇඳේ ගුලි වෙලා. එයා හුස්ම ගන්නේ හරිම අමාරුවෙන් වගේ.


​"නිසලි..." සදීශ් හීන් හඬින් කතා කළා.


​සද්දයක් නැහැ. සදීශ් ඇතුළට ගිහින් නිසලිගේ නළලට අත තිබ්බා. නිසලි ගින්දර වගේ රත් වෙලා. එකපාරටම නිසලි ඇස් ඇරියා. සදීශ්ව දැක්ක ගමන් එයා බයෙන් නැගිටින්න හැදුවා.


​"ම... මහත්තයා... මම දැන් වැඩට එන්නම්. මට පොඩ්ඩක් ඇහැ පියවුණා," නිසලි වීරියෙන් නැගිටින්න හැදුවා.


​"විකාර නැතුව ඔහොම ඉන්නවා. තමුසෙට හොඳටම උණ," සදීශ් සැරෙන් කිව්වා. "අම්මලා එන්න රෑ වෙයි. මම බෙහෙත් දෙන්නම්."


​සදීශ් සාලෙට ගිහින් පැනඩෝල් අරන් ඇවිත් නිසලිට දුන්නා.


 නිසලි ඒක බීලා ආයෙත් බිත්තියට ඇල වුණා.


 සදීශ් එතනින් යන්න හැරුණත්, නිසලිගේ මේසය උඩ තිබුණ පරණ ෆොටෝ එකක් දැකලා නතර වුණා. 


ඒකේ හිටියේ නිසලිගේ අම්මයි නංගියි. ඒ මිනිස්සුන්ගේ මූණුවල තිබුණේ හරිම අහිංසක හිනාවක්.


​"කන්න මොනවා හරි ඕනද?" සදීශ් ඇහුවා.


​"එපා මහත්තයා... බඩගිනි නැහැ."


​සදීශ් කුස්සියට ගිහින් අම්මා හදලා තිබුණ සුප් එකක් රත් කළා. ඒකත් අරන් ඇවිත් මේසය උඩින් තිබ්බා. 


"ඕක බීලා නිදාගන්නවා. කුස්සියේ පිඟන් ගැන හිතන්න එපා. මම කෙවින්ට කියලා ඒ ටික කරවන්නම්."


​සදීශ් කාමරෙන් එළියට ආවේ නිසලිගේ ඒ අසරණ මූණ මතක් කරමින්.


 එයා කුස්සියට ඇවිත් තනියම පිඟන් ටික හෝදන්න ගත්තා.


 සදීශ් වගේ එකෙක් කුස්සියේ පිඟන් හෝදනවා කියලා මේ ගෙදර කවුරුත් දැක්කා නම් මල මගුලයි.


 එයාට ඕන වුණේ නිසලිට ඉක්මනට සනීප වෙනවා දකින්න විතරයි.


සදීශ් පිඟන් ටික හෝදලා ඉවර වෙනකොටම වගේ ගේට්ටුව ඇරෙන සද්දේ ඇහුණා. 


ලොකු නෝනා ගෙදර ඇවිත්. සදීශ් ඉක්මනට අත් දෙක පිහිදාගෙන කිසිම දෙයක් වුණේ නැහැ වගේ සාලෙට ගිහින් ෆෝන් එක බල බල හිටියා.


​"සදීශ්, නිසලිට කොහොමද ? බෙහෙත් එහෙම දුන්නද?" ලොකු නෝනා සාලෙට එන ගමන් ඇහුවා.


​"හ්ම්... බෙහෙත් දුන්නා. මම බලනකොට නිදාගෙන හිටියේ," සදීශ් පෙනුමට රළු විදිහට කිව්වට, එයාගේ හිතේ තිබුණේ අමුතු චකිතයක්.


​ලොකු නෝනා කෙලින්ම ගියේ කුස්සියට. සින්ක් එක පැත්ත බලපු එයා පුදුම වෙලා ආයෙත් සාලෙට ආවා. 


"සදීශ්, අර පිඟන් ටික හෝදලා තියෙන්නේ කවුද? කෙවින් ආවද?"


​"නෑ... මම හේදුවා. ඒවා එතන තිබුණම කැතයිනේ," සදීශ් කිසිම ගාණක් නැතුව කිව්වා.


​ලොකු නෝනා සදීශ් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියේ ඇදහගන්න බැරිව වගේ. 


මොකද සදීශ් කියන්නේ තමන්ගේ කෝප්පේවත් හෝදන එකෙක් නෙවෙයි. 


"හ්ම්... ඒක හොඳයි. වැඩ කරන කෙල්ල වුණත් අසනීප වුණාම අපි බලන්න එපැයි," ලොකු නෝනා හිනා වෙවී කුස්සියට ගියා.


​පැය දෙකකට විතර පස්සේ නිසලි හිමීට කාම

රෙන් එළියට ආවා. 


උණ ටිකක් බැහැලා තිබුණත් එයා තාම හිටියේ ටිකක් අප්‍රාණික වෙලා. සදීශ් සාලේ ඉන්නවා දැක්කම නිසලි බිම බලාගෙන කුස්සියට යන්න හැදුවා.


​"දැන් කොහොමද?" සදීශ් පත්තරේ උඩින් බලලා ඇහුවා.


​"දැන් ටිකක් සනීපයි මහත්තයා... ස්තූතියි බෙහෙත් දුන්නට," නිසලි හීන් හඬින් කිව්වා.


​"හ්ම්... අර සුප් එක බිව්වද?"


​"ඔව් මහත්තයා..." නිසලි කුස්සියට ගිහින් බලද්දී තමයි දැක්කේ පිඟන් ටික හෝදලා තියෙනවා. එයාට එකපාරටම හිතාගන්න බැරි වුණා ඒක කරේ කවුද කියලා. "ලොකු නෝනා වෙන්න ඇති," නිසලි හිතුවා.


​එදා රෑ කෙවින් ගෙදර ආවේ මාර කලබලෙන්.


 "අයියේ! අර බලපන්නකෝ ගේට්ටුව ගාව කවුද මනුස්සයෙක් ඉන්නවා නිසලි අක්කව හම්බෙන්න ඕන කියලා," කෙවින් හති දාමින් කිව්වා.


​සදීශ්යි කෙවිනුයි දෙන්නම එළියට ගියා. 


ගේට්ටුව ගාව හිටියේ අවුරුදු 25ක විතර තරුණයෙක්. ඇඳලා හිටපු විදිහෙන් පෙනුණේ එයා ගමක කෙනෙක් කියලා.


​"කවුද තමුසේ? මොකටද මේ රෑ මෙතන කරක් ගහන්නේ?" සදීශ් සැරෙන් ඇහුවා.


​"මහත්තයා... මම නිසලිව බලන්න ආවේ. මම මේ පැත්තේ රස්සාවකට ආවා. නිසලිගේ අම්මා තමයි කිව්වේ බලලා යන්න කියලා," ඒ තරුණයා බයෙන් බයෙන් කිව්වා.


​ඒ වෙලාවේම නිසලිත් එතනට ආවා. ඒ මනුස්සයාව දැක්ක ගමන් නිසලිගේ මූණේ හිනාවක් ඇඳුනා. 


"නිමල් අයියා! ඔයා කොහොමද මෙහෙ?"


​සදීශ්ට ඒ "නිමල් අයියා" කියපු වචනෙට මොකක්දෝ වුණා.


 හිතට එකපාරටම ලොකු තරහක් ආවා. 


"තමුසෙලාට ඕන ඕන වෙලාවට මෙතනට මිනිස්සු ගේන්න දෙන්න බැහැ. යන්න කියනවා ඕකාට!" සදීශ් කෑගැහුවේ පාලනය කරගන්න බැරි තරහකින්.


​නිසලි අන්දුන්කුන්දුන් වෙලා සදීශ් දිහා බලන් හිටියා. 


කිසිම වැරැද්දක් නැතුව සදීශ් මෙච්චර කෑගහන්නේ ඇයි කියලා කාටවත් හිතාගන්න බැරි වුණා. 


සදීශ්ගේ හිතේ ඒ ඇති වුණේ මොකක්ද කියලා එයාටවත් තේරුණේ නැහැ.


සදීශ් කෑගහපු සද්දෙට නිසලි බය වුණ පාර එකපාරටම පස්සට වුණා. 


අර නිමල් කියන තරුණයා අසරණ වෙලා සදීශ් දිහා බලන් හිටියා.


​"අයියේ, ඇයි ඔච්චර කෑගහන්නේ? නිසලි අක්කාගේ අම්මා එවලනේ මනුස්සයෙක්ව," කෙවින් සදීශ්ව පාලනය කරන්න හැදුවා.


​"තමුසේ කට වහපන් කෙවින්! මේක වැඩ කරන තැනක් මිසක් හම්බවෙන තැනක් නෙවෙයි. නිසලි, තමුසෙට ඕන නම් ඕකා එක්ක දැන්ම ගමන යන්න පුළුවන්. හැබැයි ආයේ මේ ගේට්ටුවෙන් ඇතුළට එන්න හිතන්න එපා!"


 සදීශ් එහෙම කියලා ගේ ඇතුළට ගිහින් සාලේ දොර හයියෙන් වහගත්තා.

02.නිසලිගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. නිමල් බයෙන් බයෙන් නිසලි ගාවට ආවා.


 "නිසලි... මම හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. මම යන්නම්. අම්මා කිව්වා සල්ලි ටික ලැබුණා කියලා කියන්න කියලා. පරිස්සමෙන් ඉන්න," නිමල් හිමීට එතනින් මාරු වුණා.


​නිසලි සාලෙට එද්දී සදීශ් තාමත් එතන ඉන්නවා. නිසලි මුකුත් නොකියා බිම බලාගෙන කුස්සියට යන්න හදද්දී සදීශ් ආයෙත් කතා කළා.


​"කවුද ඒ? මොකාද ඌ?" සදීශ් ඇහුවේ තාමත් මළ පැනලා වගේ.


​නිසලි නතර වුණා. හැබැයි මෙදා පාර එයා බය වුණේ නැහැ.


 "ඒ අපේ අසල්වැසි අයියා කෙනෙක් මහත්තයා. මගේ අම්මාට උදව් කරන්නේ එයා. අම්මාට සල්ලි ලැබුණාද කියලා බලන්නයි එයා ආවේ. ඒ මනුස්සයාට ඔහොම බනින්න තරම් වරදක් කරේ නැහැ," නිසලි හරිම සන්සුන්ව ඒත් ස්ථාවරව කිව්වා.


​සදීශ්ට උත්තරයක් නැති වුණා.


 එයාට තේරුණා තමන්ගේ හැසිරීම නිකන් පාලනයක් නැති එකක් වුණා කියලා. 


"මම දන්නේ නැහැ ඕවා. හෙට ඉඳන් ඔය මිනිස්සු මෙතනට ගෙන්නගන්න එපා," සදීශ් එහෙම කියලා උඩ තට්ටුවට ගියා.


​පහුවදා උදේ ඉඳන් සදීශ් හිටියේ හරිම අමුතු විදිහකට. එයාට නිසලි එක්ක කතා කරන්න වුවමනාවක් තිබුණත්, නිසලි එයා දිහා බැලුවෙවත් නැහැ.


 ලොකු නෝනත් සදීශ් එක්ක ටිකක් අවුලෙන් හිටියේ අර මනුස්සයාට කෑගහපු සිද්ධිය නිසා.


​හවස සදීශ් ඔෆිස් එකේ ඉඳන් එද්දී නිසලි වත්තේ මල් පාත්තියක් අස් කරමින් හිටියා.


 සදීශ් කාර් එක නතර කරලා බැහැලා එද්දී නිසලිගේ අතේ තිබුණේ නිමල් දීපු ගමේ මොනවා හරි කෑම පැකට් එකක්. ඒක දැක්කම සදීශ්ට ආයෙත් කේන්ති ආවා.


​"තමුසෙට මම ඊයේ මොකක්ද කිව්වේ?" සදීශ් පාර ගාව ඉඳන්ම ඇහුවා.


​නිසලි මල් පිහිය අතේ තියාගෙනම නැගිට්ටා. 


"මහත්තයා, මම මගේ වැඩ ටික වෙලාවට කරනවා. මගේ පෞද්ගලික දේවල් වලට මහත්තයා මෙච්චර වද වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මම වැරැද්දක් කරලා තියෙනවා නම් නෝනාට කියන්න, මම අදම අස්වෙලා යන්නම්."


​නිසලි කෙලින්ම සදීශ්ගේ ඇස් දිහා බලලා ඒක කියද්දී සදීශ් මොහොතකට ගොළු වුණා. 


නිසලිගේ ඇස්වල තිබුණේ බය නෙවෙයි, තමන්ගේ ආත්ම ගෞරවය ගැන තිබුණ දැඩි හැඟීමක්. 


සදීශ් මුකුත් නොකියාම ගෙට ඇතුළු වුණා.


 එයාට එදා තමයි තේරුණේ නිසලි කියන්නේ තමන්ට ඕන ඕන විදිහට නටවන්න පුළුවන් වැඩකාරියක් විතරක් නෙවෙයි කියලා.


නිසලි කෙලින්ම මූණටම උත්තර දීපු නිසා සදීශ් හිටියේ පුදුම තරහකින්.


 හැබැයි ඒ තරහට වඩා එයාගේ හිතේ තිබුණේ ලොකු නෝන්ඩි ගතියක්. 


වැඩකාර කෙල්ලෙක්ගෙන් ඒ වගේ කතාවක් අහන්න වෙයි කියලා සදීශ් කවදාවත් හිතුවේ නැහැ.


​පහුවදා සදීශ් ඔෆිස් යන්න පල්ලෙහට එද්දී නිසලි සාලේ අතුගානවා. 


වෙනදා වගේ නෙවෙයි, නිසලි අද සදීශ් ඉන්නවා කියලා ගාණක්වත් ගත්තේ නැහැ. එයා තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන ගියා.


​"කෝ මගේ ලැප්ටොප් බෑග් එක?" සදීශ් ටිකක් සද්දෙට ඇහුවා.


​නිසලි අතුගාන එක නතර නොකරම, "ඒක සෝෆා එක උඩ තියෙනවා මහත්තයා," කියලා විතරක් කිව්වා.


​සදීශ් බෑග් එකත් අරන් එළියට යන්න ගිහින් ආයෙත් හැරුණා. 


"තමුසේ හිතාගෙන ඉන්නේ ලොකු නෝනා තමුසෙට ආදරේ නිසා මේ ගෙදර ඕන විදිහට ඉන්න පුළුවන් කියලද? මට වචනයක් කියන්න විතරයි ඕනේ තමුසෙව අයින් කරන්න."


​නිසලි අතේ තිබුණ ඉදල පැත්තකින් තිබ්බා.


 "මහත්තයා, මම ඒක දන්නවා. මම මෙහෙට ආවේ හම්බ කරලා ගෙදරට යවන්න මිසක් මහත්තයා එක්ක රණ්ඩු වෙන්න නෙවෙයි. මහත්තයාට මාව පේන්න බැරි නම් දැන්ම නෝනාට කියලා මාව අයින් කරන්න. මම යනවා."


​නිසලි බය වෙලා අඬයි කියලා හිතුවට එයා හරිම ස්ථාවරව කතා කළා.


 සදීශ් මුකුත් නොකියාම කාර් එකට නැගලා වේගයෙන් පදවගෙන ගියා.


​එදා හවස නිසලි කුස්සියේ රෑට උයන්න ලෑස්ති වෙනකොට කෙවින් කුස්සියට ආවා.


​"අක්කේ... අයියට පොඩ්ඩක් මළ පැනලා ඉන්නේ වැඩ වැඩි නිසා වෙන්න ඇති. ගණන් ගන්න එපා," කෙවින් නිසලිව සනසන්න හැදුවා.


​"නෑ කෙවින් මහත්තයා, මම ඕවා හිතේ තියාගෙන නැහැ. හැබැයි මනුස්සයෙක් වුණාම හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ," නිසලි එළවළු කපන ගමන් කිව්වා.


​රෑ වෙද්දී ලොකු වැස්සක් පටන් ගත්තා. 


සදීශ් ගෙදර එද්දී රෑ දහයත් පහු වෙලා. එයා එනකන් නිසලි විතරයි කුස්සියේ හිටියේ කෑම බෙදලා දෙන්න. 


සදීශ් තෙමි තෙමි ඇවිත් පුටුවේ වාඩි වුණා. නිසලි සද්ද නැතුව කෑම පිඟාන සදීශ් ඉස්සරහින් තිබ්බා.


​සදීශ් කෑම එක දිහා බලලා, "මට මේවා එපා. නූඩ්ල්ස් එකක් හදලා දෙනවා," කියලා සැරෙන් කිව්වා.


​නිසලි මොහොතක් සදීශ් දිහා බැලුවා. ඇත්තටම සදීශ්ට ඕන වුණේ නිසලිව තවත් අපහසුතාවයට පත් කරන්න.


 "මහත්තයා, දැන් රෑ වෙලා. නෝනලාත් නිදාගෙන. මම මේ කෑම එක මහත්තයා එනකන් රත් කර කර හිටියේ. දැන් ආයෙත් උයන්න බැහැ."


​"තමුසෙට මම කියන දේ කරන්න බැරි නම් වැඩේ දාලා යනවා!" සදීශ් මේසෙට අතින් ගහලා නැගිට්ටා.

​නිසලිගේ ඇස්වලට කඳුළු ආවා. හැබැයි එයා ඒක පෙන්වන්නේ නැතුව, 


"හරි මහත්තයා, මම හදලා දෙන්නම්," 


කියලා කුස්සියට ගියා.


​සදීශ් සාලේ සෝෆා එකට වෙලා හිටියේ හිතේ ලොකු අවුලකින්.


 පැය භාගයකට විතර පස්සේ නිසලි නූඩ්ල්ස් පිඟාන අරන් එද්දී, සදීශ්ට පෙනුණා නිසලිගේ ඇස් රතු වෙලා තියෙනවා.


 නිසලි පිඟාන මේසෙන් තියලා යන්න හැරුණා.


​සදීශ්ට එකපාරටම මොකක්දෝ වුණා. "නිසලි..."

​නිසලි නතර වුණා.


​"තමුසේ... තමුසේ ඇඬුවාද?" සදීශ්ගේ කටහඬේ මෙදා පාර තිබුණේ අමුතුම මෘදු බවක්.


​"නෑ මහත්තයා, ලූනු කැපුවම ඇස් රතු වෙනවානේ," නිසලි එහෙම කියලා කාමරේට දිව්වා.


​සදීශ් නූඩ්ල්ස් පිඟාන දිහා බලාගෙන හිටියා. ඒකෙන් ලොකු සුවඳක් එනවා. 


සදීශ්ට තේරුණා එයා කරන්නේ ලොකු වරදක් කියලා.


 එයා ඒ නූඩ්ල්ස් එක කන ගමන් හිතුවා, 


ඇත්තටම ඇයි මම මේ කෙල්ලට මෙච්චර වද දෙන්නේ? ඒක ඉරිසියාවක්ද? නැත්නම් වෙන මොකක් හරි හැඟීමක්ද?





​පහුවදා උදේ සදීශ් ඇහැරුණේ ටිකක් අමාරුවෙන්.


 රෑ නිසලිට කරපු දේ හින්දා එයාට හරි හැටි නින්දක් ගියෙත් නැහැ. 


පල්ලෙහට එද්දී නිසලි වෙනදා වගේම වැඩ.


 හැබැයි එයා සදීශ්ව පේන මානයකවත් හිටියේ නැහැ. 


සදීශ් කෑම මේසයට වාඩි වුණාම ලොකු නෝනා සදීශ් දිහා බැලුවේ ටිකක් සැරෙන්.


​"සදීශ්, උඹ ඊයේ රෑ ඒ ළමයට ආයෙත් මොකක් හරි කිව්වද? නිසලි උදේ මට කිව්වා එයාට තව සති දෙකකින් විතර ගෙදර යන්න ඕනේ කියලා," ලොකු නෝනා තේ එක බොන ගමන් ඇහුවා.


​සදීශ්ගේ හිත ගැස්සුණා.


 "එයා යනවා කිව්වා? ඇයි?" සදීශ් නිකමට වගේ ඇහුවා.


​"නංගිගේ මොකක්ද  වැඩ වගයකටලු. හැබැයි මට හිතෙන්නේ උඹේ මේ රළු කතා ඉවසන්න බැරුව ඒ ළමයා යන්න හදන්නේ. සදීශ්, උඹ ඔෆිස් එකේ ලොකු මහත්තයා වුණාට ගෙදරදී මනුස්සයෙක් වෙන්න පුරුදු වෙයන්," 


ලොකු නෝනා එහෙම කියලා කුස්සියට ගියා.


​සදීශ් කෑම එකවත් හරි හැටි නොකා එළියට ආවා. නිසලි මිදුලේ අයිනක පැළ වලට වතුර දානවා. සදීශ් කාර් එකට නගින්න කලින් නිසලි ගාවට ගියා.


​"නිසලි..."


​නිසලි වතුර බෝතලේ පැත්තකින් තියලා සදීශ් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ හිස් බවක්. 


"මහත්තයා, මම නෝනාට කිව්වා. මම ලබන මාසේ මුල යනවා. මම යනකන් මහත්තයාට මගෙන් කරදරයක් වෙන එකක් නැහැ."



​"කවුද කිව්වේ කරදරයක් කියලා? මම ඇහුවේ... යන්නේ ආයේ එන්නද?" සදීශ්ට ඒක අහන්න වුවමනා වුණත් වචන පැටලුණා.


​"ඒක මම තාම හිතලා නැහැ මහත්තයා. අපිට ගැලපෙන තැනක ඉන්න එක තමයි හොඳ," නිසලි එහෙම කියලා ආයෙත් තමන්ගේ වැඩේට ලෑස්ති වුණා.


​සදීශ් ඔෆිස් ගියේ හරිම නොසන්සුන්ව. දවස පුරාම එයාට වැඩක් කරගන්න බැරි වුණා. 


හවස ගෙදර එනකොට සදීශ් අතේ ලොකු පාර්සලයක් තිබුණා. එයා ඒක කෙලින්ම අරන් ගියේ කුස්සියට. නිසලි රෑට උයන්න ලෑස්ති වෙනවා.


​"මේක තියාගන්නවා," සදීශ් පාර්සලය මේසය උඩින් තිබ්බා.


​"මොකක්ද මේ මහත්තයා?" නිසලි පුදුම වෙලා ඇහුවා.


​" මම එනකොට නිකන් ගෙනාවේ. ඔය නංගිට මොනවා හරි තියෙනවා ඇති," සදීශ් එහෙම කියලා යන්න හැරුණා. 


"අර... ඊයේ රෑ කතාව අමතක කරන්න. මම හිටියේ ටිකක් මළ පැනලා."


​නිසලි පාර්සලය ඇරලා බැලුවා. 


ඒකේ තිබුණේ හරිම ලස්සන අලුත් ඇඳුම් කිහිපයක්. සදීශ් වගේ කෙනෙක් මේ වගේ දෙයක් කරයි කියලා නිසලි හීනෙකින්වත් හිතුවේ නැහැ.


​එදා රෑ නිසලි සදීශ්ට කෑම බෙදන්න ගියේ නැහැ. කෙවින් තමයි කෑම ටික අරන් ගියේ.


 සදීශ් කාමරේට වෙලා ඉන්නකොට දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. බැලුවම නිසලි.


​"ඇයි?" සදීශ් ඇහුවා.


​"මහත්තයා... මේ ඇඳුම් වලට ස්තූතියි. හැබැයි මම යන්න ගත්ත තීරණය වෙනස් වෙන්නේ නැහැ. මම යන එක තමයි හැමෝටම හොඳ," 


නිසලි හීන් හඬින් කියලා යන්න ගියා.


​සදීශ් සාලේ ජනේලයෙන් එළිය බලන් හිටියා. 


නිසලි යන්න යනවා කියන එක සදීශ්ට දරාගන්න අමාරු දෙයක් වෙලා. 


හැබැයි ඒක "ආදරයක්ද" එහෙමත් නැත්නම් තමන්ගේ ලොකුකම නිසා අහිංසක කෙල්ලෙක් රිදුණු එක ගැන ඇති වෙච්ච "පසුතැවීමක්ද" කියලා සදීශ්ටවත් හිතාගන්න බැහැ.


එදා රෑ ලොකු නෝනයි මහත්තයයි කෙවිනුයි ඔක්කොම නෑදෑ ගෙදරක ගිහින්.


 සදීශ්ට වැඩක් තිබුණ නිසා එයා ගියේ නැහැ. නිසලි විතරයි ගෙදර හිටියේ. 


හවස ඉඳන්ම කළුවර කරලා හොඳටම වහින්න ගත්තා. එකපාරටම ලොකු හෙන සද්දයක් එක්ක මුළු ගෙදරම කරුවල වුණා. කරන්ට් එක ගිහින්.


​නිසලි බයටම කුස්සියේ සද්ද නැතුව වාඩි වෙලා හිටියා. එයාට අඳුරේ තනියම ඉන්න බයයි. 


සදීශ් ෆෝන් එකේ ටෝච් එක ගහගෙන හෙමින් පල්ලෙහට ආවා.


​"නිසලි... කොහේද ඉන්නේ?" සදීශ් ඇහුවේ ටිකක් කලබලෙන්.


​"මම කුස්සියේ මහත්තයා," නිසලි බයෙන් ගැහි ගැහි කිව්වා.


​සදීශ් කුස්සියට එද්දී නිසලි එක කොනක ගුලි වෙලා ඉන්නවා. සදීශ් ටෝච් එක මේසෙ උඩින් තියලා, ළඟ තිබුණ ඉටිපන්දමක් පත්තු කළා. 


ඉටිපන්දම් එළියෙන් නිසලිගේ මූණ දිලිසෙනවා. එයාගේ ඇස්වල බය තාමත් තිබුණා.


​"බය වෙන්න එපා... මම ඉන්නවනේ," සදීශ් නිසලි ළඟින්ම වාඩි වුණා.


​නිසලි මුකුත් නොකියා බිම බලාගත්තා. 


"මහත්තයා... ඇයි මට මෙච්චර නපුරුකම් කරන්නේ?" 


නිසලි එකපාරටම එහෙම ඇහුවේ හිතේ තියෙන බය නිසාමයි.


​සදීශ් මොහොතකට නිහඬ වුණා. 


එයා නිසලිගේ මූණ දිහා බලාගෙන හිටියේ අමුතු බැල්මකින්.


 "මම නපුරු නැහැ නිසලි. මට... මට තේරෙන්නේ නැහැ මට මොකද වෙලා තියෙන්නේ කියලා. තමුසේ අර නිමල් එක්ක කතා කරද්දී මට ඒක ඉවසන්න බැරි වුණා. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ."


​නිසලි හිමීට සදීශ් දිහා බැලුවා. 


සදීශ්ගේ දෑස්වල තිබුණේ වෙනදා තියෙන අකීකරු ගතිය නෙවෙයි. එකපාරටම ආයෙත් හෙන සද්දයක් ඇහුණා. 


නිසලි බයටම සදීශ්ගේ අතේ එල්ලුණා. 


සදීශ් නිසලිව තමන්ගේ පැත්තට ලං කරගත්තා.


​දෙන්නා හිටියේ හරිම සමීපව. 


සදීශ්ට නිසලිගේ වේගවත් හද ගැස්ම ඇහෙනවා. 


සදීශ් හෙමින් සැරේ නිසලිගේ වැස්සට තෙමුණු කොණ්ඩ කැරැල්ලක් කන පිටුපසට කරා. 


නිසලි හුස්ම ගන්න එකත් නතර කරලා වගේ සදීශ්ගේ ඇස් දිහා බලන් හිටියා.


​"යන්න එපා නිසලි... මම කියපු දේවල් වලට මට සමාවෙන්න," සදීශ් හීන් හඬින් මිමිණුවා. එයා නිසලිගේ අත තදින් අල්ලගත්තා.


​නිසලිට දැනුණේ මුළු ලෝකෙම නතර වෙලා වගේ. සදීශ්ගේ උණුසුම එයාට ලොකු ආරක්ෂාවක් වගේ දැනුණා.


 "මහත්තයා..." නිසලිට කියන්න ලැබුණේ එච්චරයි.

​සදීශ් නිසලිගේ නළලට තමන්ගේ නළල හේත්තු කළා. 


"මට ඕන නැහැ තමුසේ මේ ගෙදර වැඩකාරියක් වෙලා ඉන්නවා දකින්න. මට ඕන... මට ඕන තමුසෙව මගේ ළඟින් ඉන්නවා දකින්න."


​ඒ වෙලාවේ කරන්ට් එක ආවා. 


කරන්ට් එක ඇවිත් මුළු කුස්සියම එළිය වෙද්දී සදීශ් නිසලිගේ නළලට තමන්ගේ නළල හේත්තු කරගෙන හිටපු විදිහටම ගල් වුණා.


 දෙන්නම එකපාරටම ඈත් වුණත්, ඒ වෙලාවේම කුස්සියේ පිටුපස දොර ඇරුණා.


​"නිසලි... අක්කේ! ගේට්ටුව ගාව වතුර පිරිලා, අපි පිටුපස දොරෙන් ආවා..."


​දුවගෙන ආපු කෙවින් එකපාරටම නතර වුණා.


 එයා විතරක් නෙවෙයි, එයාට පිටිපස්සෙන් ආපු ලොකු නෝනයි මහත්තයයි දෙන්නමත් හොල්මන් වුණා වගේ බලාගෙන හිටියා. 


කුස්සිය මැද සදීශ් හිටියේ ටිකක් කලබල වෙලා, මූණ රතු කරගෙන. නිසලි බයටම අතේ තිබුණ ඉටිපන්දම මේසෙ උඩ අතෑරියා.


​"සදීශ්? උඹ මොකද මේ වෙලාවේ කුස්සියේ කරන්නේ?" ලොකු නෝනා ඇහුවේ සැකෙන් වගේ.


​"මම... මම වතුර බොන්න ආවේ අම්මේ. කරන්ට් එක ගියානේ, ඒකයි..." සදීශ් වචන පටලවමින් කිව්වා.


​ලොකු නෝනා සදීශ් දිහායි, ගැහි ගැහි ඉන්න නිසලි දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.


 සදීශ්ගේ ෂර්ට් එකේ නිසලිගේ කොණ්ඩෙක තිබුණ මල් සුවඳ තාමත් රැඳිලා තිබුණා. 


ලොකු නෝනාට ඒක මීටර් වුණා.


​"වතුර බොන්න ඉටිපන්දම් පත්තු කරගෙන නිසලි ළඟටම එන්න ඕනෙද සදීශ්?" ලොකු නෝනාගේ කටහඬ මේ පාර හරිම රළුයි. 


"නිසලි, දුවේ... ඔයා කාමරේට යන්න දැන්."


​නිසලි ඔළුවවත් උස්සන්නේ නැතුව දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා. 


සදීශ් යන්න හැරුණත් තාත්තා එයාට නතර වෙන්න කිව්වා.



​"සදීශ්, මෙහෙට එනවා," මහත්තයා සාලෙට ගිහින් පුටුවේ වාඩි වුණා.


 "අපි උඹට උගන්වලා, මේ තත්ත්වෙට ගෙනාවේ වැඩ කරන අහිංසක කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි. මොකක්ද එතන වුණේ?"


​"මුකුත් වුණේ නැහැ තාත්තේ. එයා බය වෙලා හිටපු නිසා මම කතා කර කර හිටියා විතරයි," සදීශ් තවමත් තමන්ගේ ආඩම්බරේ දාලා තිබුණේ නැහැ.


​"බොරුවක් කියනවා නම් ඒක පිළිගන්න පුළුවන් විදිහට කියපන්. අපි උඹේ මූණෙන් දැක්කා එතන තිබුණේ බයක් නෙවෙයි කියලා," ලොකු නෝනා කිව්වා.


 "බලපන් සදීශ්, ඒ ළමයා ආවේ අපේ ගෙදර වැඩට. එයා දුප්පත් ඇති, ඒත් එයාටත් ආත්ම ගෞරවයක් තියෙනවා. උඹේ මේ සෙල්ලම් නිසා ඒ ළමයාට ගමේ මූණක් පෙන්වන්න බැරි වුණොත් උඹ දන්නවානේ වෙන්නේ මොකක්ද කියලා?"


​සදීශ් මුකුත් නොකියා උඩ තට්ටුවට ගියා. 


එදා රෑ ඒ ගෙදර හැමෝටම නින්ද ගියේ නැහැ. 


නිසලි කාමරේට වෙලා ඇඬුවා. 


එයාට හිතුණේ ලොකු නෝනලා දැන් තමන් ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. සදීශ්ටත් තේරුණා දැන් වැඩේ දුරදිග ගිහින් කියලා.


​පහුවදා උදේ නිසලි ඇහැරෙනකොට ලොකු නෝනා කුස්සියේ වැඩ. නිසලි බයෙන් බයෙන් එතනට ගියා.


​"නෝනා... මම..."


​"නිසලි, මම ඔයාට වැරැද්දක් කියන්නේ නැහැ දුවේ. හැබැයි මම සදීශ්ව දන්නවා. එයා මේ දේවල් සීරියස් ගන්න කෙනෙක් නෙවෙයි. ඔයා තවදුරටත් මෙහේ ඉන්න එක ඔයාට හොඳ නැහැ කියලා මට හිතෙනවා," ලොකු නෝනා හරිම සන්සුන්ව කිව්වා.


​නිසලිගේ හිත කැබලි වලට කැඩුණා වගේ දැනුණා.


 ලොකු නෝනා තමන්ව අයින් කරන්නයි හදන්නේ. 


ඒත් ඒ වෙලාවේම පඩිපෙළ බැහැගෙන ආපු සදීශ් හැමෝම ඉස්සරහ නතර වුණා.


​"අම්මේ... නිසලි කොහේවත් යන්නේ නැහැ. මම එයාව යවන්නේ නැහැ," සදීශ් හැමෝම බලාගෙන ඉද්දී හයියෙන් කිව්වා.


සදීශ් එහෙම කියපු පාර සාලේ හිටපු ලොකු නෝනයි මහත්තයයි දෙන්නම පුදුම වෙලා සදීශ් දිහා බැලුවා. 


නිසලි බයටම කුස්සියේ බිත්තියට හේත්තු වුණා. එයාට හිතාගන්න බැහැ සදීශ් මේ මොන වගේ විනාශයක් කරගන්න හදන්නේ කියලා.


​"සදීශ්, මොනවාද මේ කියවන විකාර? උඹට පිස්සුද?"


 මහත්තයා පුටුවෙන් නැගිටලා සැරෙන් ඇහුවා.


​"නෑ තාත්තේ, මට පිස්සු නැහැ. මම දන්නවා මම මෙච්චර දවස් නිසලිට ගොඩක් නපුරුකම් කළා. ඒත් මට තේරුණා ඒ හැමදේම පිටිපස්සේ තිබුණේ මම එයාට කැමති හින්දා ඇතිවුණ පොඩි ඉරිසියාවක් කියලා,"


 සදීශ් පඩිපෙළ බැහැලා ඇවිත් තාත්තා ඉස්සරහ කෙලින් හිටගත්තා. 


"මට නිසලිට අගෞරව කරන්න කිසිම වුවමනාවක් නැහැ. මම නිසලිට ඇත්තටම ආදරෙයි."


​සාලේ මළ ගෙයක් වගේ නිශ්ශබ්ද වුණා. ලොකු නෝනා නිසලි දිහා බැලුවා. නිසලිගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා.


​"සදීශ්, උඹ දන්නවානේ අපේ පවුලේ තත්ත්වය? නිසලි කියන්නේ අපේ ගෙදර වැඩට ආපු ළමයෙක්. නෑදෑයෝ, ලෝකය මේවා ගැන මොනවා හිතයිද?" 


ලොකු නෝනා ටිකක් මෘදු හඬින් ඇහුවා.


​"අම්මේ, ලෝකය ගැන හිතලා මට මගේ සතුට නැති කරගන්න බැහැ. නිසලි දුප්පත් වුණාට එයා හරිම ගුණවන්ත කෙල්ලෙක්. මම දැක්කා එයා තමන්ගේ අම්මයි නංගියි වෙනුවෙන් මහන්සි වෙන විදිහ. මම හිතන්නේ අපේ ගෙදරට ගැලපෙනම කෙනා එයා," 


සදීශ් ස්ථාවරව කිව්වා.


​තාත්තා ආයෙත් පුටුවේ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කළා. 


සදීශ් කියන්නේ කවදාවත් බොරු කියන, එහෙමත් නැත්නම් වැඩකට නැති තීරණ ගන්න කොල්ලෙක් නෙවෙයි කියලා එයා දන්නවා.


​"නිසලි... මෙහෙට එන්න දුවේ," මහත්තයා නිසලිට කතා කළා.


​නිසලි ගැහි ගැහි සාලෙට ආවා. 


"මහත්තයා... මට සමාවෙන්න. මම හිතලා කිසිම දෙයක් කරේ නැහැ," නිසලි අඬමින් කිව්වා.


​"බය වෙන්න එපා දුවේ. මම දන්නවා ඔයා වැරැද්දක් කරන්නේ නැහැ කියලා," මහත්තයා සදීශ් දිහා බලලා හිනා වුණා.


 "සදීශ්, උඹ ගත්ත තීරණය ගැන මට සතුටුයි. සල්ලි තියෙන, ආඩම්බරකාර කෙල්ලෙක් ගේනවට වඩා මේ වගේ අහිංසක කෙල්ලෙක් අපේ ගෙදරට එන එක ලොකු වාසනාවක්. මම මේකට විරුද්ධ නැහැ."


​ලොකු නෝනාත් නිසලි ගාවට ගිහින් එයාගේ කඳුළු පිහිදැම්මා. 


"මටත් ඕන වුණේ සදීශ්ගේ හිතේ තියෙන්නේ සෙල්ලමක්ද නැත්නම් ඇත්තක්ද කියලා දැනගන්න විතරයි. නිසලි... එහෙනම් අද ඉඳන් ඔයා මේ ගෙදර වැඩකාරිය නෙවෙයි. මගේ ලොකු ලේලි."


​නිසලිට තමන්ගේ කන් අදහාගන්න බැරි වුණා.


 සදීශ් නිසලි දිහා බලලා ලස්සන හිනාවක් දැම්මා. එදා රෑ ඒ ගෙදර තිබුණේ අමුතුම සතුටක්. සල්ලි පන්තියට වඩා මනුස්සකම දිනපු දවසක් ඒක.


​දවස් කිහිපයකට පස්සේ සදීශ් නිසලිවත් එක්කගෙන නිසලිගේ ගමට ගියා. 


අම්මාටයි නංගිටයි මේ විස්තරේ කිව්වම ඒ අයත් පුදුම වුණා. නිමල් අයියා පවා සතුටින් සදීශ්ට සුබ පැතුවා.


​පොහොසත් ගෙදරක වැඩට ආපු දුප්පත් කෙල්ල, තමන්ගේ ගුණයහපත්කම හින්දාම ඒ මාලිගාවේ රැජින  වුණා.




​-සමාප්තයි--


Tags

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!