අයිති නැති මනමාලිය | කඳුළින් ලියවුණු ආදර කතාවක්

Sinhala ketikatha
0

 



අවුරුදු හතක් කියන්නේ ලේසි කාලයක් නෙවෙයි. ඒක ජීවිත කාලයකින් සෑහෙන ලොකු කොටසක්. සචින් සහ ඉමාෂාගේ ආදර කතාව පටන් ගත්තේ ඔවුන් පාසල් යන අවදියේදීමයි. එකම ටියුෂන් පන්තියක, එකම බස් එකක යන එන ගමන් ඇතිවුණු ඒ අහිංසක බැල්ම, කාලයත් එක්ක ලෝකයටම හොරෙන් මහා විශාල ආදරයක් බවට පත්වුණා.


​ඔවුන් දෙන්නා එකතු වෙලා නොදැකපු හීනයක්, නොගිය තැනක් නැති තරම්. සචින් කියන්නේ හරිම අහිංසක, හැබැයි තමන්ගේ උත්සාහයෙන් ජීවිතේ ජයගන්න හදන තරුණයෙක්. එයාට මහලොකු සල්ලි බාගයක්, යාන වාහන තිබුණේ නැහැ. එයා කළේ පොඩි ප්‍රයිවට් ජොබ් එකක්. හැබැයි එයාගේ හිතේ තිබුණේ ඉමාෂාව රජකුමරියක් වගේ බලාගන්න එකම එක බලාපොරොත්තුවක් විතරයි.


​"සචින්... මට බයයි අනේ. අපේ ගෙදරින් මේකට කවදාවත් කැමති වෙන එකක් නැහැ. මට ඔයාව නැති වුණොත් මම මැරෙයි," ඉමාෂා හැමදාම හවසට පන්සලේ බෝධිය ළඟ වාඩි වෙලා සචින්ගේ අතක් තද කරලා අල්ලගෙන කියනවා.


​සචින් හිනාවෙලා ඉමාෂාගේ ඔළුව අතගාලා කියන්නේ, "අනේ මැණික... ඔය වගේ කාලකන්නි කතා කියන්න එපා. මම රෑ දවල් නොබලා වැඩ කරන්නේ අපිට ඉක්මනටම ගෙයක් හදාගන්න. මම කොහොමහරි ඔයාගේ තාත්තා ඉස්සරහට ගිහින් කෙලින් හිටගෙන ඔයාව ඉල්ලනවා. මට පොඩ්ඩක් කල් දෙන්න මැණික," කියලයි.


​ඉමාෂා සචින්ගේ පපුවට බර වෙලා ඒ වචනවලින් ලොකු සැනසීමක් ලැබුවා. ඔවුන් දෙන්නාට දෙන්නා නැතුව ජීවත් වෙන්න බැරි තරමට ඔවුන්ගේ ආත්මයන් එකිනෙකාට බද්ධ වෙලා තිබුණේ. කොච්චර ප්‍රශ්න ආවත්, සල්ලි නැති වුණත්, සචින් ළඟ ඉන්නකොට ඉමාෂාට මුළු ලෝකෙම අමතක වුණා. ඔවුන්ගේ අවුරුදු හතක ජීවිතය පිරිලා තිබුණේ පුංචි පුංචි රණ්ඩු, ආදරණීය හාදු, සහ අනාගතය ගැන මැව්ව සුන්දර මාළිගාවලින් විතරයි.


​නමුත් දෛවය හැමදාම එක වගේ සතුටක් දෙන්නේ නැහැ. ඉමාෂාගේ පවුලේ අය සල්ලි, තත්ත්වය සහ කුලය අකුරටම බලන මිනිස්සු. ඉමාෂාගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. එයා බලාපොරොත්තු වුණේ තමන්ගේ එකම දුවව ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්ට දීලා තමන්ගේ තත්ත්වය රැකගන්න.



​දවසක් ඉමාෂාගේ ෆෝන් එකට ආපු සචින්ගේ මැසේජ් එකක් තාත්තා දැක්කා. එදා ඒ නිවසේ ඇතිවුණේ මහා යුද්ධයක්.


​"උඹට අපි කන්න ඇඳන් දීලා, උගන්වලා හැදුවේ පාරේ ඉන්න හිඟන්නෙක් එක්ක යන්නද? ඌ කරන ජොබ් එකෙන් උඹට කන්න දෙන්න පුළුවන්ද?" තාත්තා ඉමාෂාගේ කන හරහා පාරක් ගහමින් කෑගැහුවා.


ඉමාෂා බිම වැටිලා අඬන්න ගත්තා. "අනේ තාත්තේ... සචින් නරක කෙනෙක් නෙවෙයි. එයා මට පණටත් වඩා ආදරෙයි. මට ඌ නැතුව ජීවත් වෙන්න බැහැ," ඇය අඬමින් වැඳ වැටුණා.


​"තෝ ඌත් එක්ක පැනලා යන්න හරි හැදුවොත්, මම මේ සේරටම කලින් වස බීලා මැරෙනවා! උඹට ඕන නම් ඌත් එක්ක පලයන්, හැබැයි මගේ මිනිය උඩින්!" තාත්තා අවසන් තර්ජනය කළා.


​ඉමාෂාගේ ෆෝන් එක උදුරා ගත්තා. ඇයව කාමරයක හිර කළා. යාළුවෙක්ටවත් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඇගේ අයියා සචින්ව හම්බවෙන්න ගිහින්, පාර මැදදී සචින්ට දරුණු විදියට තර්ජනය කළා. "ආයෙ මගේ නංගිගේ පස්සෙන් ආවොත් උඹව කෑලිවලට කපලා වළලනවා," කියලා.


​සචින් ඒ හැම නින්දාවක්ම ඉවසුවා. එයා ඉමාෂාගේ ගෙදරට ලියුම් යැව්වා, ඇගේ යාළුවෝ මාර්ගයෙන් පණිවිඩ යැව්වා. හැබැයි ඉමාෂාගේ පැත්තෙන් කිසිම උත්තරයක් තිබුණේ නැහැ. පවුලේ අයගේ කඳුළු, තර්ජන, සහ තාත්තාගේ අසනීප තත්ත්වය ඉස්සරහා ඉමාෂා සම්පූර්ණයෙන්ම අසරණ වුණා.


 තමන්ගේ ආදරේ දිනාගන්න ගිහින් තමන්ගේ පවුලම විනාශ වෙනවා දකින්න ඉමාෂාට ශක්තියක් තිබුණේ නැහැ.

​සති කිහිපයකට පස්සේ, තාත්තා පිටරටක ඉන්න, ලොකු සල්ලිකාර පවුලක තරුණයෙක්ව ඉමාෂාට යෝජනා කළා. ඉමාෂා කිසිම සිනහවක්, හැඟීමක් නැතිව, මළමිනියක් වගේ ඒ විවාහයට කැමැත්ත දුන්නා. ඇගේ හදවත ඒ වෙනකොටත් මියගිහින් තිබුණේ.


​විවාහයට දින පහකට කලින්, ඉමාෂා තමන්ගේ හොඳම යාළුවාගේ උදව්වෙන් රහසින්ම සචින්ට කතා කළා. සචින් ඒ වෙනකොටත් රඟහලක හෝ පාර අයිනක තනියම වාඩි වෙලා, පිස්සෙක් වගේ ඉමාෂාගේ පරණ මැසේජ් කියව කියව හිටියේ.


​ෆෝන් එක රින්ග් වෙද්දී නන්නාඳුනන අංකයක් තිබුණත් සචින් වහාම ෆෝන් එක ආන්සර් කළා.


"හෙලෝ..." සචින්ගේ කටහඬ බිඳිලා තිබුණා.


එහා පැත්තෙන් ඇහුණේ ඉමාෂාගේ ඉකිගහන සද්දය විතරයි.


"ඉමාෂා.. මේ ඔයාද මැණික? අනේ කතා කරන්නකෝ... ඔයාට මොකද වුණේ? ඇයි මාව දාලා ගියේ?" සචින් කෑගැහුවා.


​"සචින්... මට... මට සමාවෙන්න ," ඉමාෂා අඬමින් වචන ගළපා ගත්තා. "මට වෙන කරන්න කිසිම දෙයක් ඉතිරි වුණේ නැහැ. තාත්තා අසනීප වුණා. මම ආවොත් එයා ජීවිතේ නැති කරගන්නවා කිව්වා. මම... මම ලබන සතියේ කසාද බඳිනවා සචින්."


​සචින්ගේ අතින් ෆෝන් එක බිම වැටෙන්න ගියා. එයාගේ මුළු ලෝකයම එකපාරටම අඳුරු වුණා. අවුරුදු හතක් තිස්සේ මහන්සි වෙලා මැව්ව හීන මාලිගාව එක මොහොතකින් කුඩුපට්ටම් වෙලා ගියා.


"ඉමූ... බොරු කියන්න එපා අනේ. අපි පැනලා යමු. මම ඔයාව කාටවත් හොයාගන්න බැරි තැනකට අරන් යන්නම්. මම දැන් සල්ලිත් එකතු කරලා තියෙන්නේ. අපිට ජීවත් වෙන්න පුළුවන්," සචින් දරුවෙක් වගේ හඬන්න පටන් ගත්තා.


​"බෑ සචින්... අපිට ඒක කරන්න බැහැ. මම මගේ පවුලේ අයව මරලා ඔයා ළඟට ආවොත්, අපිට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. මගේ ඉරණම මේක වෙන්න ඇති සචින්. ඔයා මට වෛර කරන්න. මම වගේ නරක කෙල්ලෙක්ව අමතක කරලා වෙන ජීවිතයක් පටන් ගන්න," ඉමාෂා ෆෝන් එක කට් කළා.


​සචින් එදා රෑ මුළුල්ලේම පාර අයිනේ වාඩි වෙලා පිස්සෙක් වගේ ඇඬුවා. තමන්ගේ පණ වගේ ආදරේ කළ කෙල්ල තව දවස් කිහිපයකින් වෙන කෙනෙක්ගේ වෙන්න යනවා කියන එක එයාට දරාගන්න බැරි වුණා.


​ඒ අවාසනාවන්ත දවස උදා වුණා. ලංකාවේ තියෙන ලොකුම සහ සුඛෝපභෝගී හෝටලයක ඉමාෂාගේ මංගල උත්සවය පැවැත්වුණා. හෝටලය පුරාම ලස්සන මල්, විදුලි බුබුළු, සහ සතුටින් පිරුණු මිනිස්සුන්ගේ හිනා හඬවල් පිරිලා තිබුණා.

​ඉමාෂාව ලස්සනම ලස්සන උඩරට මනාලියක් විදියට හැඩගන්වලා තිබුණා. රත්තරන් බඩු, සුදු පාට සාරිය, සහ මල් කළඹ ඇගේ අතේ තිබුණා. හැමෝම ඇය දිහා බලලා "කොච්චර ලස්සන මනමාලියක්ද" කියලා පසසද්දී, ඒ ලස්සන මූණ පිටුපස තිබුණේ මහා කඳුළු සාගරයක්. ඇගේ ඇස්වල තිබුණේ හිස් බවක් විතරයි.


​මේ අතරේ, ඉමාෂාගේ හොඳම යාළුවා සචින්ට හොරෙන් මැසේජ් එකක් දාලා තිබුණා."සචින්, ඉමූ අඩනවා ඉවරයන් නෑ.. එයා අන්තිම වතාවට ඔයාව බලන්න අඬනවා. පුළුවන් නම් හෝටලයේ Dressing Room එක ගාවට එන්න. මම ඔයාව ඇතුළට ගන්නම්," කියලා.


​සචින් ආවා. එයා ඇඳගෙන හිටියේ සරල ඇඳුමක්. එයාගේ ඇස් රතු වෙලා, කෙට්ටු වෙලා, සති ගාණකින් නිදාගෙන නැති පෙනුමක් තිබුණේ. එයා හෝටලයේ සේවකයෙක් වගේ කාටවත් හොරා මනාලියගේ කාමරය  ගාවට ආවා. නෙත්මි වටපිට බලලා සචින්ව කාමරය ඇතුළට දාලා, පිටතින් දොර වහලා මුර කළා.


​කාමරය ඇතුළේ ඉමාෂා කණ්ණාඩිය ඉස්සරහා වාඩි වෙලා හිටියේ. දොර ඇරෙන සද්දෙට ඇය හැරිලා බලද්දී, ඉස්සරහා හිටියේ තමන් අවුරුදු හතක් තිස්සේ පණටත් වඩා ආදරේ කරපු සචින්.


​ඉමාෂාගේ ඇස්වලින් කඳුළු කඩන් වැටුණා. ඇය මනාලියගේ බර සාරියත් එක්කම  නැගිටලා, සචින් ළඟට දුවලා ඇවිත් සචින්ගේ පපුවේ මූණ තියාගෙන මහා හයියෙන් ඉකිගහලා ඇඬුවා. ඇගේ කඳුළුවලට මනාලියගේ මේකප් එක සේදිලා, කම්මුල් දිගේ කඳුළු පාරවල් හැදුණා.


​සචින් ඉමාෂාව තමන්ගේ දෑතින්ම තද කරලා බදාගත්තා. ඒ බදාගැනීමේ තිබුණේ අවුරුදු හතක මතකයන් ඔක්කොම එකතු කරපු වේදනාවක්. සචින්ගේ ඇස්වලිනුත් කඳුළු වැටුණා.


​"ඉමූ... අඬන්න එපා මැණික. මනමාලියෝ අඬන්නේ නැහැ. ඔයා අද ගොඩක් ලස්සනයි," සචින් අමාරුවෙන් හිනාවෙලා, වෙව්ලන අත්වලින් ඉමාෂාගේ කඳුළු පිහදැම්මා.


​"සචින්... මට සමාවෙන්න... මට සමාවෙන්න... මම ඔයාට ද්‍රෝහී වුණේ නැහැ සචින්. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ," ඉමාෂා කෑගහලා ඇඬුවා.


​සචින් ඉමාෂාගේ මූණ තමන්ගේ අත් දෙකට අරගෙන, ඇගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා මෙහෙම කිව්වා:


"මම දන්නවා ඉමූ. මම ඔයාට කවදාවත් බනින්නේ නැහැ. ඔයා මගේ ජීවිතේට ආපු එකම මට ඇති. ඔයා එයා එක්ක සතුටින් ඉන්න ඕන. ඒක විතරයි මම ඉල්ලන්නේ."


​ඉමාෂා සචින්ගේ අත් දෙක තද කරලා අල්ලාගෙන, එයාගේ ජීවිතේ අන්තිම වතාවට සචින්ගේ මුහුණ දෙස බලාගෙන, මේ වචන ටික කිව්වා. ඒ වචන ටික කියද්දී ඇගේ කටහඬ වේදනාවෙන් වෙව්ලන්න ගත්තා:


​"සචින්... හොඳට අහගන්න. මගේ අත අද එයා අල්ලයි. මම එයා එක්ක පෝරුවේ හිටගනියි. මම එයාගේ බිරිඳ වෙලා මේ රටිනුත් යයි. හැබැයි සචින්... මගේ හිත ඇතුළේ, මගේ පපුවේ ගැහෙන අන්තිම හුස්ම පොද වෙනකල් ඉන්නේ ඔයා විතරයි. මම වෙන කෙනෙක්ගේ මනමාලියක් වුණාට, මගේ ආත්මය, මගේ ආදරේ හැමදාටම අයිති ඔයාට විතරයි සචින්... මාව අමතක කරන්න එපා..."


​ඒ වෙලාවේ කාමරය ඇතුළේ තිබුණේ මහා මළගෙයක නිශ්ශබ්දතාවයක්. අවුරුදු හතක් පුරා ඔවුන් බෙදාගත්තු හැම හිනාවකම, හැම කඳුළකම අවසානය මේ පුංචි කාමරය ඇතුළත සිද්ධ වෙමින් තිබුණා.


​"දැන් යන්න සචින්... අනේ යන්න... එයා දැන් කාමරයට එයි. ආයෙ කවදාවත් මගේ ඉස්සරහට එන්න එපා. මට ඔයාව දැක්කොත් ජීවත් වෙන්න බැරි වෙයි," ඉමාෂා අමාරුවෙන් සචින්ගේ පපුවෙන් ඉවත් වෙලා, ඔහුව දොර දෙසට තල්ලු කළා.


​සචින් ඉමාෂාගේ නළලට අවසන් වතාවට තදින් හාද්දක් දුන්නා. ඒ හාද්දේ තිබුණේ සදාකාලික වෙන්වීමක්. සචින් හැරිලා බලන්නේ නැතුව, තමන්ගේ හදවත කාමරය ඇතුළේ දාලා, හිස් මිනිසෙක් වගේ කාමරයෙන් එළියට ගියා.


​ඊටපස්සේ හැමදේම සැලසුම් කරපු විදියටම සිද්ධ වුණා. ඉමාෂා අලුත් සැමියාගේ අත අරගෙන පෝරුවෙන් බැස්සා. එදා රෑම ඔවුන් පිටරට බලා පිටත් වුණා. සචින් ලංකාවේ, තමන්ගේ පුංචි කාමරේ ඇතුළේ තනියම ඉතිරි වුණා.

​කාලය අවුරුදු ගණනාවකින් ඉදිරියට ගියා... හැබැයි ඔවුන්ගේ හදවත්වල තුවාල සුව වුණේ නැහැ.


​අද ඔවුන් දෙන්නාම ජීවතුන් අතර ඉන්නවා. හැබැයි ඔවුන් ජීවත් වෙන්නේ මළමිනී වගෙයි. ඉමාෂා පිටරටක, මහා විශාල මන්දිරයක, සල්ලිකාර සැමියෙක් සහ දරුවන් එක්ක ජීවත් වෙනවා. පිටතින් බලන ලෝකයාට ඇය හරිම වාසනාවන්ත බිරිඳක්. හැබැයි හැමදාම රෑට සැමියා සහ දරුවන් නිදාගත්තට පස්සේ, ඉමාෂා නිවසේ බැල්කනි එකට ඇවිත්, කඳුළු පිරුණු ඇස්වලින් ඈත අහසේ තියෙන හඳ දිහා බලාගෙන ඉන්නවා.


 ඇය අදටත් හිතින් අඬනවා. ඇගේ ශරීරය පිටරටක තිබුණත්, ඇගේ හදවත සහ ආත්මය අදටත් තියෙන්නේ ලංකාවේ, සචින් ළඟ විතරයි.


​අනිත් පැත්තෙන් සචින්... එයා අදටත් තනියම. එයා වෙන කිසිම කෙල්ලෙක් දිහා බැලුවේවත් නැහැ. කවුරුහරි කසාදයක් ගැන ඇහුවොත් එයා හිනාවෙලා නිහඬ වෙනවා. සචින් මහන්සි වෙලා වැඩ කරලා අද සල්ලිකාරයෙක් වෙලා තියෙනවා. හැබැයි ඒ සල්ලිවලින් එයාට වැඩක් නැහැ. හැමදාම හවසට, එයා ඉමාෂා එක්ක අවුරුදු හතක් තිස්සේ ඇවිදපු ඒ මුහුදු වෙරළට යනවා. එතැන තනියම වාඩි වෙලා, රළ පාගමින් ඈත බලාගෙන ඉන්නවා.


​ඔවුන් දෙන්නා එකම ලෝකෙක, එකම අහස යට ජීවත් වෙනවා. හැබැයි ඔවුන් ආයේ කවදාවත් ජීවිතේට මුහුණට මුහුණ හම්බවෙන්නේ නැහැ. ඔවුන්ගේ අවුරුදු හතක ඒ පවිත්‍ර ආදරය, කවදාවත් සුව නොවන, මැරෙනකල්ම පපුව ඇතුළේ හඬන සදාකාලික මතකයක් විතරක්ම වුණා.




- අවසානයි -

Tags

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!