රෑ දොළහට විතර ඇති. නේහා සාලේ පුටුවකට වෙලා දොර දිහා බලාගෙන හිටියේ. මුළු ගෙදරම මහා මූසල පාලුවක් තිබුණේ. නේහා පොඩි කාලේ ඉඳන්ම හරිම අහිංසක, බොළඳ කෙල්ලෙක්. එයා හැමතිස්සෙම හීන දැක්කේ තමන්ට පණ වගේ ආදරේ කරන මහත්තයෙක් එක්ක ලස්සන පුංචි ලෝකයක් හදාගන්න. හැබැයි එයාගේ දෛවය සරදම් කළා. අසංක එක්ක සිද්ධ වුණ විවාහයේ මුල් දවස්වල ඉඳන්ම නේහාට ලැබුණේ කඳුළු විතරයි.
අසංක කියන්නේ සල්ලි තිබුණට හදවතක් නැති මිනිහෙක්. කසාද බැන්ද දවසේ ඉඳන් එයා නේහා දිහා බැලුවේ වහලෙක් දිහා බලනවා වගේ. යාළුවෝ එක්ක ක්ලබ් ගානේ රවුම් ගහන්න, රෑ වෙනකන් බොන්න අසංකට වෙලාව තිබුණා.
හැබැයි ගෙදර ඉන්න තමන්ගේ නෝනා කෑවද බීවද කියලා බලන්න එයාට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. නේහා ලස්සනට ඇඳලා එයා එනකන් බලන් ඉන්න හැම දවසකම අසංක කළේ එක්කෝ නේහාට බනින එක, නැත්නම් ගණන් ගන්නේ නැතුව කාමරේට වෙලා නිදාගන්න එක. අඩුම තරමේ සාලේ ඉඳන් එකට ටීවී එකක් බලන්නවත් අසංක නේහාට ඉඩ දුන්නේ නැහැ. නේහා මොනවා හරි ආදරෙන් අහන්න ගියත් එයා කළේ "තමුසේ මහ කරදරයක්, මගේ පාඩුවේ ඉන්න දීපන්" කියලා කෑගහන එකයි.
ටිකකින් දොර ඇරගෙන ඇතුළට ආවේ අසංක. එයා එදත් හොඳටම බීලා හිටියේ. කෙලින් අඩියක් තියාගන්න බැරි තරම්. නේහා බයෙන් බයෙන් නැගිටලා ගිහින් අසංකගේ අතින් ඇල්ලුවා.
"අසංක... ඇයි රෑ වුණේ? මම කෑම බෙදලා බලන් හිටියා ඔයා එනකල්."
අසංක නේහාගේ අත ගසලා දාලා මූණ කළු කරගත්තා. "මට කන්න ඕන නෑ. තමුසෙට මගේ වෙලාවල් හොයන්න තියෙන අයිතිය මොකක්ද? මම සල්ලි දෙනවා නම්, කන්න අඳින්න දෙනවා නම් තමුසෙට එච්චරයි. මගේ පස්සෙන් එන්න එපා."
"මට සල්ලි නෙවෙයි අසංක ඕනේ... මට ඔයාගේ ආදරේ. අපි බැඳලා අවුරුද්දක්වත් නෑ. ඇයි ඔයා මාව මෙහෙම තනි කරන්නේ? මම දවස තිස්සේම ගෙදර තනිවෙලා ඉන්නේ," නේහාගේ ඇස්වලින් කඳුළු වැටෙන්න ගත්තා.
"තමුසේ මගේ ඔළුව කන්නේ නැතුව ඉන්නවද? මම බැන්දේ මගේ අකමැත්තෙන්, අම්මලාගේ බල කිරීමට. තමුසේ එක්ක පවුල් කන්න මට කිසිම උවමනාවක් නෑ. මට මේ බෝරිං ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ. මම යනවා යන්න," අසංක රළු විදිහට කෑගහලා, ඇඳුම් ටිකක් බෑග් එකකට දාගෙන දොරත් හයියෙන් වහගෙන ගෙදරින් යන්නම ගියා.
නේහා සාලේ බිම ඉඳගෙන දණහිස් දෙක පපුවට තද කරගෙන මහ හයියෙන් ඇඬුවා. මේ මහ ගෙදර එයාට දැනුණේ හිරගෙයක් වගේ. හැමදාම අසංකගෙන් ලැබුණේ මඟහැරීමයි, බැනුමයි විතරයි. අන්තිමට එයා ගෙදරිනුත් ගියා.
මේ මහා තනිකම දරාගන්න බැරිතැන තමයි නේහාගේ හිත සෙනාල් ළඟ නතර වුණේ. නේහාට සෙනාල්ව හම්බවුණේ මීට මාස කිහිපයකට කලින්. අසංකගෙන් ලැබුණු තනිකම දරාගන්න බැරුව නේහා ෆේස්බුක් එකේ ගෲප් එකක තමන්ගේ පාලුව ගැන ලියපු පොඩි කවියකට සෙනාල් කමෙන්ට් කරලා තිබුණා.
"ඇයි ඔච්චර ලස්සනට ලියන කෙල්ලෙක් මේ තරම් දුකින් ඉන්නේ?" කියලා සෙනාල් එදා මැසෙන්ජර් එකෙන් මැසේජ් එකක් දාලා අහද්දී, හැමදාම බැනුම් අහපු නේහාගේ හිත ඒ වචනෙට උණුවුණා. තමන්ගේ මහත්තයාවත් අහන්නේ නැති දේ සෙනාල් අහද්දී නේහා තමන්ගේ සේරම දුක්ගැනවිලි සෙනාල් එක්ක බෙදාගත්තා.
ඊට පස්සේ ඒ දෙන්නා පැය ගණන් මැසෙන්ජර් එකෙන් කතා කරන්න ගත්තා. ඒ දවස්වල සෙනාල් පුදුම ආදරයක් පෙන්නුවේ. හැමදාම උදේ පහට ඇහැරිලා "Good morning මැණික, පරිස්සමෙන් ඉන්න" කියලා එයා මැසේජ් එකක් දානකන් නේහා බලන් හිටියා.
නේහා දවල්ට කෑවද, ඔළුවේ කැක්කුම අඩු වුණාද කියලා සෙනාල් විනාඩියෙන් විනාඩිය හෙව්වා. නේහා අඬන රෑවල්වල සෙනාල් පැය ගණන් ෆෝන් එකෙන් සිංදු කිය කියා නේහාව සනසන්න හැදුවා. .
"ඔයා ඔය වගේ අපායක ඉන්න ඕන කෙල්ලෙක් නෙවෙයි නේහා, අසංක ඔයාට ආදරේ නැති වුණාට මම ඉන්නවා ඔයාට පණ වගේ ආදරේ කරන්න" කියලා සෙනාල් මැසෙන්ජර් එකෙන් ලියපු දිග මැසේජ් කියවලා නේහා කොට්ටේ බදාගෙන කොච්චර නම් සතුටු වුණාද?
සෙනාල් තමයි තමන්ගේ ජීවිතේ බේරගන්න ආපු දෙවියෙක් කියලා නේහා හිතුවා. ඒත් නේහා දැනන් හිටියේ නැහැ සෙනාල් ඒ සේරම කළේ තමන්ගේ පාළුව මකාගන්න, සෙල්ලමකට විතරයි කියලා. නේහා තමන්ට සම්පූර්ණයෙන්ම වහල් වුණා, දැන් මෙයාට මාව නැතුවම බැහැ කියලා තේරුණාට පස්සේ සෙනාල්ගේ ඒ ලස්සන වචන සේරම නතර වුණා. එයාත් නේහාව වදයක් වගේ මඟහරින්න්න ගත්තා.
අසංක ගෙදරින් දාලා ගියපු වෙලාවේ නේහා ගැහෙන අත්වලින් සෙනාල්ගේ චැට් එක ඕපන් කළා. සෙනාල් ‘Online’ ඉන්නවා. හැබැයි නේහා දාපු මැසේජ් පහකටම තවම රිප්ලයි නැහැ. නේහා හෙමින් ටයිප් කළා.
"සෙනාල්... ඔයා ඔන්ලයින් ඉන්නවා නේද? මට පේනවා සෙනාල්. ඇයි මාව මෙහෙම මඟහරින්න්නේ? සෙනාල්. මට ගොඩක් බයයි. මම තනිවෙලා."
විනාඩි පහක් ගියා. සෙනාල්ගේ පැත්තෙන් රිප්ලයි එකක් ආවා. ඒත් ඒකේ කිසිම ආදරයක් තිබුණේ නැහැ.
"නේහා, මට නිදාගන්න දීපන්. මට උදේට වැඩට එකට යන්න තියෙනවා. හැමදාම රෑට උඹේ ඔය එකම අඬවැඩියාව අහන්න මට බැහැ. තමුසෙලාගේ පවුල් ප්‍රශ්න මට කියන්න එන්න එපා. ඇති දැන්."
ඒ මැසේජ් එක දැක්ක ගමන් නේහාගේ පපුව ඇතුළෙන් මහා හුස්මක් හිරවුණා වගේ දැනුණා. කඳුළු කැට කම්මුල් දිගේ බේරුණේ නේහාටවත් නොදැනිමයි. එයා හරිම බොළඳයි. පොඩි වචනෙකටත් එයාගේ හිත කඩන් වැටෙනවා. සෙනාල් දන්නවා නේහා එයාට කොච්චර ආදරේද කියලා. ඒත් සෙනාල් ඒ හැමදේම පාවිච්චි කළේ නේහාට රිද්දන්න විතරයි.
පහුවදා හවස නේහා සෙනාල්ව හම්බවෙන්න වැව රවුමට ආවා. නේහා ආවේ සෙනාල් කැමතිම නිල් පාට ගවුම ඇඳලා. ඇස් දෙක හඬලම ඉදිමිලා තිබුණත්, සෙනාල්ව දකිද්දී නේහාගේ මූණට හිනාවක් ආවා. හැබැයි සෙනාල් ආවේ මූණ කළු කරගෙන.
"මොකටද මාව හම්බවෙන්න ආවේ?" සෙනාල් බංකුව උඩ ඉඳගන්න ගමන් ඇහුවා. නේහා දිහා බැලුවෙවත් නැහැ.
"ඇයි සෙනාල් මෙහෙම කරන්නේ? මම ඔයාට මොන වැරැද්දක්ද කළේ? මට මගේ ජීවිතේට වඩා ඔයාව වටිනවා. මට දැන් ඉන්නේ ඔයා විතරයි," නේහා සෙනාල්ගේ අතින් අල්ලන්න හැදුවා.
සෙනාල් අත ගසලා දාලා අයින් කළා. "මට ඔය නාට්‍ය බලන්න වෙලාවක් නැහැ නේහා. උඹ බැඳපු ගෑනියෙක් කියලා අමතක කරන්න එපා. උඹේ මිනිහා ගෙදරින් ගියේ උඹේ වැරැද්දක් හින්දා වෙන්න ඇති. මට උඹේ ආදරෙන් වැඩක් නැහැ."
නේහාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. පාරේ යන මිනිස්සුත් බලාගෙන යනවා. ඒත් නේහාට ලැජ්ජාවක් දැනුණේ නැහැ. එයාට දැනුණේ මහා අසරණකමක් විතරයි.
"සෙනාල්... මම ඔයාගෙන් සල්ලි ඉල්ලුවද? මට ඔයාගේ ආදරේ විතරයි ඕන වුණේ. මට ටිකක් ආදරෙන් කතා කරන්න බැරිද? මගේ හිත රිදෙනවා සෙනාල්... මට දරාගන්න බැහැ." නේහා බංකුව උඩම දණගහලා සෙනාල්ගේ කකුල් දෙක ළඟින් අත තිබ්බා..
"උඹ මහ වදයක් නේහා. මට එපා වෙලා තියෙන්නේ." සෙනාල් නැගිටලාඅ යන්න ගියා.
ඒ... වෙලාවේ මහා වැස්සක් ඇද හැලෙන්න ගත්තා. වැහි බිංදු නේහාගේ කඳුළු එක්ක එකතු වුණා. සෙනාල් කුඩයක්වත් දිග ඇරලා නේහාට අල්ලන්නේ නැතුව පාර දිගේ ඉස්සරහට ගියා. නේහා වැස්සේ තෙමි තෙමි බලාගෙන හිටියා, තමන් පණටත් වඩා ආදරේ කරපු මිනිහා තමන්ව පාරේ දාලා යන දිහා. ගෙදර ගියත් තනිකම, සෙනාල් ළඟට ආවත් තනිකම කියන එක නේහාට තදින්ම දැනුණා...
ගෙදර ආපු වෙලාවේ ඉඳන් නේහාට තදටම උණ ගැනුණා. එයා ඇඳෙන් නැගිට්ටේ නැහැ. දවස් තුනක් සෙනාල්ගෙන් කිසිම කෝල් එකක්, මැසේජ් එකක් නැහැ. නේහා මැරීලාද ජීවත් වෙනවාද කියලා හොයන්න සෙනාල්ට උවමනාවක් තිබුණේ නැහැ. මහත්තයත් ගෙදර නැති නිසා නේහා ඒ මහා ගේ ඇතුළේ තනියම උණෙන් ගැහුණා.
හතරවෙනි දවසේ රෑ නේහා අමාරුවෙන් ෆෝන් එක අරන් සෙනාල්ට කෝල් එකක් ගත්තා. සෙනාල් පස්වෙනි පාරටයි කෝල් එක ගත්තේ.
"මොනවද තමුසෙට ඕන වෙලා තියෙන්නේ? මම යාළුවෝ එක්ක ඉන්නේ. වද නොදී ඉන්නවද?" සෙනාල් ෆෝන් එකෙන් කෑගැහුවා. පිටිපස්සෙන් යාළුවෝ හිනාවෙන සද්ද ඇහෙනවා.
නේහාගේ කටහඬ උණ නිසා හොඳටම බැරෑරුම් වෙලා තිබුණේ.
"සෙනාල්... මම ඔයාට කරදර කරන්නේ නෑ ආයේ. මට එකම එක දෙයක් කියන්න. ඔයාට මාව සෙල්ලමක් විතරක්මද වුණේ? එක පාරක්වත් මම ගැන දුකක් හිතුණේ නැද්ද?"
"නැහැ නේහා. මට තමුසෙව පේන්න බැහැ දැන්. තමුසෙගේ ඔය අඬන මූණ මට අප්පිරියයි. ආයේ මට කෝල් කරන්න එපා." සෙනාල් ෆෝන් එක කට් කළා.
නැහැ, නේහා මෙදාපාර ඇඬුවේ නැහැ. ඇස්වලින් කඳුළු වේලිලා ගිහින් වගේ. එයා ෆෝන් එක මේසේ උඩින් තිබ්බා. කාමරේ තිබුණ සෙනාල්ගේ පින්තූරයක් අතට ගත්තා. තමන් ආදරේ බලාපොරොත්තු වුණ මිනිස්සු දෙන්නෙක්ම තමන්ව බල්ලෙක් ගානටවත් වැදගත් කරගත්තේ නෑ නේද කියලා නේහාට හිතුණා.
නේහාගේ අවසන් පැය කිහිපය මහා පාලුවකින් ගෙවිලා ගියේ. එයා කාමරේ ලයිට් එක නිවලා, සෙනාල්ගේ පින්තූරේ පපුවට තද කරගෙන ඇඳ උඩ වාඩිවෙලා හිටියා. එයාට මුළු ජීවිතේම එපා වෙලා තිබුණේ. කාටවත්ම වැඩක් නැති, හැමෝටම වදයක් වුණ තමන් මොකටද ජීවත් වෙනවාද කියලා එයා හිතුවා. නේහා වෙවුලන අත්වලින් කොළයකුයි පෑනකුයි අරන් එයාගේ අවසන් ලිපිය ලියන්න ගත්තා. හැම අකුරක් පාසාම එයාගේ ඇස්වලින් වැටුණු කඳුළු බිංදුවලින් ඒ කොළය තෙත් වුණා.
"මට කාටවත් වදයක් වෙන්න ඕන නෑ... ඔයාට මාව වදයක් වුණාට... මට ඔයා මගේ පණ වගේ සෙනාල්..." නේහා හෙමින් මුමුණලා, සෙනාල්ගේ පින්තූරේ පපුවට තද කරගෙනම සදහටම ඇස් පියාගත්තා.
පහුවදා උදේ 9 වෙද්දී සෙනාල් නිදාගෙන හිටියේ. එයාගේ ෆෝන් එක එකදිගට රින්ග් වෙන්න ගත්තා. බලද්දී නේහාගේ නම්බර් එක. සෙනාල් ඒක කට් කළා. ආයෙත් ආවා. සෙනාල් බැන බැන ෆෝන් එක ගත්තා.
"තමුසෙට සිංහල තේරෙන්නේ නැද්ද නේහා—"
"සෙනාල්..." එහා පැත්තෙන් ඇහුණේ නේහාගේ කටහඬ නෙවෙයි. නේහාගේ අක්කා. එයා මහ හයියෙන් අඬනවා. කතා කරගන්න බැරුව ගොත ගහනවා.
"අක්කා? ඇයි?" සෙනාල් ඇඳෙන් නැගිට්ටා.
"නේහා... නේහා සදාකාලිකවම නිදාගත්තා සෙනාල්... ඒ අහිංසකී අද උදේ නැතිවුණා..." අක්කාට ඒ ටික කියාගන්න බැරි වුණා. විලාප තියලා ඇඬුවා. "එයා මැරෙන්න කලින් ලියුමක් තියලා ගිහින්. ඒකේ තිබුණේ ඔයාගේ නම විතරයි සෙනාල්... එයා ඔයාට ඒ තරම් ආදරේ කළා. ඒත් ඔයා ඒක පෑගුවා... අසංක ඒ අහිංසකීව දාලා ගියාම එයා ඔයා ළඟ නේද සහනයක් හෙව්වේ? ඔයාලා දෙන්නම එකතු වෙලා ඒ කෙල්ලව මැරුවා..."
සෙනාල්ගේ අතින් ෆෝන් එක ඇඳ උඩට වැටුණා. එයාගේ මුළු ඇඟම පණ නැති වුණා වගේ දැනුණා. එයා වෙවුලන අත්වලින් නේහාගේ චැට් එක ඕපන් කළා. නේහා ඊයේ රෑ 2ට දාපු මැසේජ් එකක් තිබුණා. සෙනාල් ඒක දැකලා තිබුණේ නැහැ.
"සෙනාල්, ඔයා කිව්වා වගේ මම ආයේ ඔයාගේ ඉස්සරහට එන්නේ නැහැ. මම ඔයාට ගොඩක් ආදරේ කළා. මට ඔයා නැතුව ඉන්න බැහැ සෙනාල්, ඒකයි මම මේ දේ කරන්නේ. ඔයා බිසී නැති දවසක... පුළුවන් නම් මාව බලන්න එන්න. මම ඔයාට ආයේ වද කරන්නේ නැහැ... මැණික."
සෙනාල්ගේ පපුව පැලෙන්න වගේ ආවා. එයාට මතක් වුණේ නේහා අන්තිමට වැස්සේ තෙමි තෙමි අඬපු හැටි. "උඹ මහ වදයක්" කියද්දී ඒ අහිංසක ඇස්වල තිබුණ වේදනාව. සෙනාල් නේහාගේ පින්තූරයක් අරන් පපුවට තද කරගත්තා.
එතැන් පටන් සෙනාල්ගේ මුළු ජීවිතයම දරාගන්න බැරි මහා පසුතැවීමක් වුණා. එයාට රෑට නින්ද ගියේ නැහැ. ඇස් පියවද්දී පෙනුණේ වැස්සේ තෙමි තෙමි තමන්ගේ කකුල් ළඟ අඬපු නේහාව විතරයි. එයා පිස්සෙක් වගේ හැමදාම හවසට වැව රවුමේ ඒ බංකුව ළඟට ගිහින් පැය ගණන් බලාගෙන හිටියා නේහා නිල් පාට ගවුම ඇඳන් දුවගෙන එයිද කියලා.
සෙනාල් මැසෙන්ජර් එකේ නේහාගේ පැරණි මැසේජ් සේරම ආයෙ ආයෙත් කියෙව්වා. මුල් දවස්වල තමන් ලියපු ලස්සන වචනවලට රැවටිලා, පස්සේ තමන් කරපු මඟහැරීම් ඉවසගෙන නේහා කොච්චර නම් තනියම අඬන්න ඇත්ද කියලා හිතෙද්දී සෙනාල්ගේ පපුව පැලෙන්න වගේ ආවා.
එයා නේහාගේ චැට් එකට "නේහා මට සමා වෙන්න, මම උඹට ආදරේ කළා, ඒත් ඒක කියන්න මම පරක්කු වුණා" කියලා දහස් පාරක් මැසේජ් කළා. හැබැයි ඒ හැම මැසේජ් එකක්ම සදහටම ‘Unseen’ විදිහට ඉතුරු වුණා. හිතක් පපුවක් නැති සෙනාල්ගේ ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටුණේ නේහාගේ මැරුණු මූණවත් දකින්න ලැබෙන්නේ නැති තරම් එයා පරක්කු වුණාට පස්සෙයි.
ඒත් දැන් නේහා ආයෙ එන්නේ නැහැ. මිනිස්සු දෙන්නෙක් මැද තනි වෙලා, ආදරේ හිඟා කාලා, අන්තිමට ඒ මිනිස්සුන්ගේ පසුතැවීමේ කඳුළු මැද නේහාගේ ඒ බොළඳ ආදරේ සදහටම වළලා දැම්මා. හැදුවේ ආදරේ කරන්න විතරක් වුණ නේහාගේ ඒ බොළඳ හිනාව සදහටම අළු වෙලා ඉවරයි.
- අවසානයි -

