නපුරු හබීගේ සැඟවුණු ආදරය | ඇය නොදැන සිටි ඔහුගේ ඇත්තම හැඟීම

Sinhala ketikatha
0

 



තිසාරා හිටියේ සාලේ සෝෆා එක උඩ වාඩිවෙලා අත් දෙකෙන්ම මූණ වසාගෙන. ගෙදර වාතාවරණය හරිම තදයි. තාත්තා සාලේ මැද එහාට මෙහාට ඇවිදිනවා, අම්මා වතුර වීදුරුවකුත් අරන් අඬ අඬා බලන් ඉන්නවා.


​"තාත්තේ... ඇත්තටම වෙන කිසිම විසඳුමක් නැද්ද? අපේ කම්පැණි එක බේරගන්න වෙන විදිහක් නැද්ද?" තිසාරා කඳුළු පිරුණු ඇස් දෙකෙන් තාත්තා දිහා බැලුවා.


​තාත්තා නතර වුණා. එයාගේ මූණේ තිබුණේ ලොකු අසරණකමක්.


​"තිසාරා... මට සමාවෙයන් පුතේ. අපේ කම්පැණි එකේ අනිත් පාට්නර් හිටපු සුදේෂ්, කොම්පැණි එකේ එකවුන්ට්ස්වලින් කෝටි 50ක් හොරෙන් අරන් රට පැන්නා. දැන් ඒ ඔක්කොම ණය මගේ පිට උඩ. හෙට වෙනකොට ඒ ණය ගෙව්වේ නැත්නම් බැංකුවෙන් අපේ ගෙදරයි, කම්පැණි එකයි ඔක්කොම වෙන්දේසි කරනවා. අපි පාරට වැටෙනවා..."


​"ඉතින්... ඉතින් අර 'අභිමන්' කියන කෙනා මොකක්ද කිව්වේ? එයා අපිට හෙල්ප් කරන්න කැමතියි කිව්වා නේද?" තිසාරා ඇහුවා.


​තාත්තා බිම බලාගත්තා. "එයා ණය ඔක්කොම ගෙවලා කොම්පැණි එක බේරගන්න කැමතියි. හැබැයි එයාට එක කොන්දේසියක් තියෙනවා... එයාට උඹව කසාද බඳින්න ඕනෙලු. එන සතිය ඇතුළත..."


​තිසාරාට ඒ වචන ටික ඇහෙද්දී අකුණක් ගැහුවා වගේ වුණා. අභිමන්! නගරයේ ඉන්න ලොකුම සල්ලිකාර, හැබැයි නමගිය නපුරු, සෙල්ලක්කාර, අනුකම්පාවක් නැති කොල්ලා.


​තිසාරා අභිමන්ව ආශ්‍රය කරලා නොතිබුණාට, අභිමන් තිසාරාව හොඳටම දැනන් හිටියා. අවුරුදු දෙකකට කලින් කැම්පස් එකේ පැවැත්වුණු ඉවෙන්ට් එකකදී තිසාරා කෙළින්, අභිමානවත් විදිහට කතා කරපු හැටි දැකපු දවසේ ඉඳන් අභිමන්ගේ හිතේ තිබුණේ තිසාරා ගැන රහස් ආදරයක්. හැබැයි තමන්ගේ තියෙන අහංකාරකම නිසා අභිමන් කවදාවත් තිසාරා ළඟට ඇවිත් ඒක කිව්වේ නැහැ.


​"මොකක්?! එයාට පිස්සුද තාත්තේ? මම එයාව දැකලවත් නැහැ හරියට! මාව විකුණලාද ඔයාලා බිස්නස් එක බේරගන්න හදන්නේ?" තිසාරා කෑගැහුවා.


​"නෑ පුතේ..." අම්මා ඇවිත් තිසාරාව බදාගත්තා. "තාත්තා එයාට නැහැ කිව්වා. හැබැයි අභිමන් කිව්වේ අපිට වෙන කිසිම බැංකුවකින්වත්, සල්ලිකාරයෙක්ගෙන්වත් සතයක්වත් ලැබෙන්න දෙන්නේ නැහැ කියලා. එයා මුළු නගරෙම අපිට එරෙහිව හැරෙව්වා..."



​අභිමන් මෙච්චර නපුරු විදිහට තිසාරාව බලෙන්ම කසාද බඳින්න හැදුවේ ලොකු වැරදි වැටහීමක් නිසයි.


​අභිමන්ගේ කම්පැණි එකේ අයි.ටී  ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කළේ කවීන් කියන කොල්ලා. කවීන් කියන්නේ තිසාරාගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. දවසක් අභිමන් කවීන්ගේ ඩෙස්ක් එක ළඟින් යද්දී, කවීන්ගේ ලැප්ටොප් එකේ තිසාරාගේ ෆොටෝ එකක් තියෙනවා දැක්කා.


​"කවුද මේ කෙල්ල?" අභිමන් එදා කවීන්ගෙන් ඇහුවේ තිසාරාව අඳුරගෙනයි.


​කවීන් අභිමන්ගේ හිතේ තියෙන දේ නොදැන, තමන්ගේ හිතේ තිබ්බ ඊර්ෂ්‍යාවට බොරුවක් කිව්වා. "මේ තිසාරා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. අපි දෙන්නා ලඟදීම කසාද බඳින්න ඉන්නේ."


​ඒ වචන ටිකෙන් අභිමන්ගේ හිත පත්තු වුණා. එයා හිතුවේ තිසාරා ඇත්තටම කවීන් එක්ක යාළුයි කියලා. ඔහොම ඉද්දී තමයි තිසාරාගේ තාත්තගේ කම්පැණි එක බංකොලොත් වුණු ආරංචිය අභිමන්ට ලැබුණේ. තිසාරාව වෙන කොල්ලෙක්ට අයිති වෙන්න දෙන්න බැරි කමටත්, තිසාරාගේ පවුල බේරගන්න තියෙන එකම විදිහ නිසත් අභිමන් තීරණය කළා බලෙන්ම හරි තිසාරාව තමන්ගේ කරගන්න.


​පහුවදා උදේ තිසාරා කෙළින්ම ගියේ අභිමන්ගේ ඔෆිස් එකට. එයා අභිමන්ගේ කාමරයේ දොර තදින් ඇරගෙන ඇතුළට ගියා.


​අභිමන් හිටියේ තමන්ගේ කැරකෙන පුටුවේ වාඩිවෙලා. එයාගේ මුහුණේ තිබුණේ සීතල, තියුණු බැල්මක්.


​"තමුසෙට පිස්සුද අභිමන්?! තමුසේ කවුද මගේ පවුලට බ්ලැක්මේල් කරන්න? තමුසෙගේ සල්ලි තියාගන්නවා සාක්කුවේ! මම තමුසෙව කවදාවත් කසාද බඳින්න කැමති වෙන්නේ නැහැ!" තිසාරා කෑගැහුවා.


​අභිමන් නැගිටලා හිමින් තිසාරා ළඟට ආවා. එයා තිසාරාගේ මූණට එබුණා.


​"උඹේ තාත්තට තියෙන්නේ පැය 24යි තිසාරා. හෙට හවස පහ වෙනකොට උඹ මාව කසාද බඳින්න කැමතියි කිව්වේ නැත්නම්... උඹලගේ මුළු පවුලම පාරේ. මම ඒක කරලා පෙන්වන්නම්."


​"තමුසේ තිරිසනෙක් අභිමන්!" තිසාරාගේ ඇස්වලින් කඳුළු කඩන් වැටුණා.



​වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැති නිසා තිසාරා අභිමන්ගේ කොන්දේසියට කැමති වුණා. සතියක් ඇතුළත මඟුල් ගෙදර ලෑස්ති වුණා.


​අත්සන් කරන මොහොතේදී තිසාරාගේ අත වෙවුලද්දී, අභිමන් තිසාරාගේ අතින් තදින් අල්ලගත්තා. "අත්සන් කරපන් තිසාරා... දැන් රඟපෑවා ඇති," අභිමන් රහසින් කිව්වා.


​කසාද බැඳලා ඉවර වුණු ගමන් අභිමන් තිසාරාවත් ඇදගෙන වගේ එයාගේ විශාල, පාලු බංගලාවට එක්කන් ආවා. ගෙදරට ආපු ගමන් අභිමන් තිසාරාගේ අත අතඇරියා.


​"දැන් උඹ හිතනවා ඇති උඹ මෙහෙ ඇවිත් රජ කුමරියක් වගේ ඉන්න පුළුවන් කියලා නේද?" අභිමන් ඇහුවා.


​"මම එහෙම කිසිම දෙයක් හිතුවේ නැහැ අභිමන්. මට ඕනේ වුණේ මගේ පවුල බේරගන්න විතරයි," තිසාරා බිම බලාගෙන කිව්වා.


​අභිමන් තිසාරාගේ නිකටෙන් තද කරලා ඇල්ලුවා. එයාගේ ඇස්වල තිබුණේ මහ විශාල තරහක් වගේම ලොකු ඊර්ෂ්‍යාවක්.


​"තමුසේ හිතුවද මම මුකුත් දන්නේ නැහැ කියලා? තමුසේ වෙන කොල්ලෙක්ට ආදරේ කළා නේද? අර 'කවීන්' කියන එකාට? උඹ ඌව කසාද බඳින්න නේද හිටියේ? මම බලෙන්ම හරි උඹව කසාද බැන්දේ උඹව ඌට අයිති වෙන්න දෙන්න බැරි නිසා! උඹේ ඇඟ විතරක් මෙහෙ තිබ්බට උඹේ හිත තියෙන්නේ ඌ ළඟ නේද?" අභිමන් කෑගැහුවා.


​තිසාරා පුදුමයෙන් ගැස්සුණා. "තමුසෙට වැරදිලා අභිමන්! මම කවීන්ට ආදරේ කළේ නැහැ! එයා මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් විතරයි!"


​"කතාව නවත්තපන්!" අභිමන් තිසාරාව තල්ලු කළා. "උඹලගේ ඔය බොරු අහිංසකකම්වලට මම රැවටෙන්නේ නැහැ. උඹ මගේ ගෑනි වුණාට, උඹට මේ ගෙදර හම්බවෙන්නේ මගේ නපුරුකම විතරයි!"


​අභිමන් තිසාරාව එක්කන් ගියේ උඩ තට්ටුවේ තිබුණු පාලු කාමරයකට. "මෙන්න උඹේ කාමරය. උඹට මගේ කාමරයට එන්න තහනම්. මම කියන වෙලාවට විතරක් මගේ ඉස්සරහට වරෙන්," අභිමන් කිව්වා.


​"මටත් ඔයාගේ මූණ බලන්න කිසිම ආසාවක් නැහැ අභිමන්!" තිසාරාත් උත්තර දුන්නා.


​තිසාරා කාමරයට වෙලා හයියෙන් ඇඬුවා. අභිමන් නැති කරපු තමන්ගේ ජීවිතය ගැනත්, කවීන් කියපු බොරුව නිසා අභිමන් තමන්ට මෙච්චර වෛර කරන එක ගැනත් එයාගේ හිත තදින්ම රිදුණා...


පහුවදා ඉඳන් අභිමන් තිසාරාට තවත් තදින් සලකන්න පටන් ගත්තා. එයා ගෙදර සේවකයින්ට තදින්ම කිව්වා තිසාරාට ගෙදර කිසිම වැඩකට උදව් කරන්න එපා කියලා. බංගලාවේ උයන, පිරිසිදු කරන, අතුගාන වැඩ ඔක්කොම තිසාරාගේ පිට උඩ පැටවුණා.


​අභිමන් හිතුවේ මේ හිංසාව හින්දා තිසාරා එයා ඉස්සරහා දණගහලා අඬයි, අසරණ වෙයි කියලා. හැබැයි තිසාරා කියන්නේ අභිමානවත් කෙල්ලෙක්. එයා කිසිම වෙලාවක අභිමන් ඉස්සරහා අඬන්නවත්, කනගාටුවක් පෙන්නන්නවත් ලෑස්ති වුණේ නැහැ.


​එයා මහන්සි වෙලා ගෙදර වැඩ ඔක්කොම තනියම කළා. අභිමන් ඔෆිස් එකේ ඉඳන් හවසට ගෙදර එද්දී, තිසාරා රෑ කෑම මේසය පිළිවෙළට ලෑස්ති කරලා, එයාගේ කාමරයට වෙලා හිටියා.


​දවසක් රෑ කෑම මේසයේදී අභිමන් තිසාරාට කතා කළා.


​"තමුසේ හිතුවද මෙහෙම හිටියා කියලා මගේ හිත උණු වෙයි කියලා? උඹේ ඔය අහංකාරකම මම ලඟදීම කඩනවා තිසාරා," අභිමන් තදින් කිව්වා.


​තිසාරා අභිමන්ගේ ඇස් දෙක දිහා කෙළින්ම බැලුවා. "තමුසෙගේ සල්ලිවලට මගේ තාත්තගේ කොම්පැණි එක ගන්න පුළුවන් වුණාට, මගේ අභිමානය වට්ටන්න තමුසෙට කවදාවත් බැහැ අභිමන්. මම මෙහෙ ඉන්නේ මගේ පවුල වෙනුවෙන්. තමුසේ දුන්න ඕනෑම දඬුවමක් මම විඳින්නම්."


​අභිමන්ට ඒ උත්තරයෙන් තවත් තරහ ගියා. හැබැයි එයාගේ හිත ඇතුළෙන්, තිසාරාගේ ඒ කෙළින් කතා කරන, බය නැති ගතියට ලොකු ගෞරවයක් ඇතිවෙන්න පටන් ගත්තා.



​සති දෙකක් විතර ගෙවිලා ගියා. දිගටම කරපු අධික මහන්සිය සහ හිතේ තිබුණු මානසික පීඩනය නිසා තිසාරාගේ ඇඟට අමාරු වුණා. එදා හවස අභිමන් ගෙදර එද්දී මුළු ගෙදරම අඳුරුයි. කෑම ලෑස්ති කරලත් නැහැ.


​"තිසාරා!" අභිමන් තරහෙන් කෑගැහුවා. හැබැයි කිසිම සද්දයක් ආවේ නැහැ.


​අභිමන් උඩ තට්ටුවේ තිසාරාගේ කාමරයට කඩා වැදුණා. "තමුසේ මොකද කරන්නේ? අද කෑම..."


​අභිමන්ගේ වචන කට ඇතුළෙම නතර වුණා. තිසාරා ඇඳ උඩ ගුලිවෙලා තදින් වෙවුලමින් හිටියා. එයාගේ මූණ රතු වෙලා, තොල් වියළිලා.


​අභිමන් ඉක්මනින් ඇඳ ළඟට ගිහින් තිසාරාගේ නළලට අත තිව්වා. එයාගේ ඇඟ ගින්දර වගේ රත් වෙලා තිබුණේ.


​"තිසාරා... තිසාරා ඇස් අරින්න!" අභිමන්ගේ හඬේ පළමු වතාවට ලොකු බයක් සහ කලබලයක් මතු වුණා.


​තිසාරා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා. "අභිමන්... මට... මට සමාවෙන්න... අද කෑම හදන්න බැරි වුණා..." තිසාරා අපහසුවෙන් කිව්වා.


​ඒ වෙලාවේ අභිමන්ගේ හිත ඇතුළේ මොකක්දෝ ලොකු වේදනාවක් ඇති වුණා. මේ කෙල්ල තමන්ගේ නපුරුකම් හින්දා මෙච්චර අසරණ වෙලත්, තාමත් තමන්ට වගකියන්න හදනවා නේද කියලා අභිමන්ට තේරුණා.


​"කටවහගෙන ඉන්නවා තිසාරා!" අභිමන් සද්ද නැතුව තිසාරාව වඩාගෙන එයාගේ ලොකු, සුවපහසු කාමරයට එක්කන් ආවා.


​එදා රෑ පුරාම අභිමන් තිසාරාගේ ළඟින් සෙලවුණේ නැහැ. එයා තනිවම වතුර රෙදි තියමින් තිසාරාගේ උණ බස්සන්න මහන්සි වුණා. ගෙදර ඩොක්ටර්ව ගෙන්නලා බෙහෙත් දුන්නා.


​රෑ ජාමේ තිසාරා සිහිනෙන් වගේ අභිමන්ගේ අත තදින් අල්ලගත්තා. "අනේ... මට වෛර කරන්න එපා අභිමන්... මම ඔයාට කිසිම වැරැද්දක් කළේ නැහැ..." තිසාරා කඳුළු සලමින් කිව්වා.


​අභිමන් තිසාරාගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ල හිමින් පස්සට කළා.


​"මම උඹට ආදරෙයි තිසාරා... කැම්පස් එකේදී දැක්ක දවසේ ඉඳන්ම මම උඹට ආදරේ කළා. හැබැයි උඹ වෙන එකෙක්ට ආදරේ කළා කියන සැකය මගේ මුළු හිතම විනාශ කළා..." අභිමන් රහසින් කිව්වා.



​පහුවදා උදේ තිසාරා ඇහැරෙද්දී එයා හිටියේ අභිමන්ගේ කාමරයේ. අභිමන් ඇඳ අයිනේ පුටුවක වාඩිවෙලා නිදාගෙන හිටියා. එයාගේ මූණේ තිබුණේ මහන්සි පාටක්.


​තිසාරා පුදුමයෙන් අභිමන් දිහා බැලුවා. මේ නපුරු යක්ෂයා මුළු රෑම තමන්ව බලාගත්තා නේද කියලා තේරෙද්දී තිසාරාගේ හිතේ තිබ්බ කෝපය හිමින් හිමින් දියවෙන්න පටන් ගත්තා.


​තිසාරා ටිකෙන් ටික සුවපහසු වුණාට පස්සේ අභිමන්ගේ හැසිරීම වෙනස් වුණා. එයා කලින් වගේ තිසාරාට ගෙදර වැඩ කරන්න දුන්නේ නැහැ. හැබැයි අභිමන් තිසාරා එක්ක ලොකුවට කතා නොකර මගහැරලා හිටියා.


​දවසක් හවස තිසාරා පහළ සාලේ ඉද්දී, අභිමන්ගේ ෆෝන් එක සාලේ මේසය උඩ තියෙද්දී රින්ග් වෙන්න පටන් ගත්තා. අභිමන් හිටියේ වොෂ්රූම් එකේ. ස්ක්‍රීන් එකේ තිබුණේ 'කවීන් (IT)' කියන නම.


​තිසාරා පුදුමයෙන් ෆෝන් එක ආන්සර් කළා.


​"හෙලෝ... අභිමන් සර්?" අනෙක් පැත්තෙන් කවීන්ගේ හඬ ඇසුණා.


​"කවීන්? මම තිසාරා. ඔයා ඇයි අභිමන්ට කෝල් කරන්නේ?" තිසාරා ඇහුවා.


​කවීන් මොහොතක් නිහඬ වුණා. එයාගේ හඬේ ලොකු පසුතැවීමක් තිබුණා.


​"තිසාරා... උඹ අභිමන් සර්ව බැන්දා කියලා මට ආරංචි වුණා. මට සමාවෙයන් තිසාරා... මමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති කළේ."


​"මොකක්ද කවීන් ඔයා කියන්නේ? පැහැදිලිව කියන්න!" තිසාරා ඇහුවා.


​"අභිමන් සර් දවසක් මගෙන් උඹේ ෆොටෝ එකක් දැකලා උඹ ගැන ඇහුවා. මම උඹට හිතින් ආදරේ කරපු නිසාත්, සර්ට තිබුණු ඊර්ෂ්‍යාව නිසාත් මම සර්ට බොරුවක් කිව්වා... උඹ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, අපි බැඳින්න ඉන්නේ කියලා. සර් ඒක ඇත්ත කියලා හිතුවා. හැබැයි මට දැන් ගොඩක් පසුතැවෙනවා තිසාරා. මම අද අභිමන් සර්ට ඇත්ත කියන්නයි කෝල් කළේ... උඹ මට කවදාවත් ආදරේ කළේ නැහැ කියලත්, අපි අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලත් සර්ට කියන්නයි මම කෝල් කළේ..."


​තිසාරාට සියල්ල පැහැදිලි වුණා. අභිමන් තමන්ට මෙච්චර නපුරුකම් කළේත්, බලෙන්ම බැන්දෙත් කවීන් කියපු මේ අමු  බොරුව නිසයි!


​ඒ වෙලාවෙම අභිමන් වොෂ්රූම් එකෙන් එළියට ආවා. එයා තිසාරාගේ අතේ තමන්ගේ ෆෝන් එක තියෙනවා දැක්කා...


අභිමන් වොෂ්රූම් එකෙන් එළියට ඇවිත් තිසාරාගේ අතේ තිබුණු ෆෝන් එක දිහා බැලුවේ තද බැල්මකින්.


​"තමුසේ මොකද මගේ ෆෝන් එක අල්ලන්නේ?" අභිමන් ඉදිරියට ආවා.


​තිසාරා ෆෝන් එක අභිමන්ගේ අතට දුන්නේ එයාගේ ඇස් දෙක දිහා කෙළින්ම බලමින්.


​"කවීන් කතා කළේ අභිමන්... එයා ඔයාට කියන්න හදපු ඇත්ත මට කිව්වා. දැන් මට තේරෙනවා ඔයා මෙච්චර කාලයක් මට වෛර කළේ ඇයි කියලා," තිසාරාගේ හඬ වෙනස් වුණා.


​අභිමන්ගේ මූණේ තිබුණු තද ගතිය එකපාරටම නැතිවෙලා ලොකු ගැස්මක් ආවා. එයා ඉක්මනින් ෆෝන් එක දිහා බැලුවා.


​"තිසාරා... මම..."


​"ඔයා මගේ පවුල අසරණ කරලා මාව බලෙන්ම කසාද බැන්දෙත්, මට මේ තරම් නපුරුකම් කළෙත් මම වෙන කෙනෙක්ට ආදරේ කළා කියන සැකය හින්දා නේද? ඔයා මගේ හිත ගැන එක පාරක්වත් ඇහුවද අභිමන්? මම කවදාවත් කවීන්ට ආදරේ කළේ නැහැ! මගේ හිතේ කිසිම කෙනෙක් හිටියේ නැහැ... හැබැයි ඔයා මාව තිරිසනෙක් ගණනට දාලා සැලකුවා!" තිසාරාගේ ඇස්වලින් කඳුළු කැට පිට කැට කඩන් වැටුණා.


​අභිමන් එකපාරටම නිහඬ වුණා. එයාගේ හිත ඇතුළේ ලොකු කුණාටුවක් ඇතිවුණා. තමන් කරපු ලොකුම වැරැද්ද තමන්ටම තේරුණා. තමන්ගේ නොසංසුන්කම, හිතුවක්කාරකම සහ සැකය නිසා එයා නැතිකරගෙන තියෙන්නේ කැම්පස් එකේදී දැක්ක දවසේ ඉඳන් තමන් පණ වගේ ආදරේ කරපු අහිංසක කෙල්ලගේ හදවත කියන එක එයාට වැටහුණා.


​"තිසාරා... මට... මට සමාවෙයන්..." අභිමන් පළමු වතාවට තිසාරා ඉස්සරහා සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එයා තිසාරාගේ අත් දෙක අල්ලගන්න හැදුවා.


​"එපා අභිමන්! මාව අල්ලන්න එපා! ඔයාගේ සල්ලිවලට මගේ තාත්තගේ ණය ගෙවන්න පුළුවන් වුණාට, ඔයා විනාශ කරපු මගේ ආත්මගෞරවය ආපහු දෙන්න ඔයාගේ සල්ලිවලට බැහැ!" තිසාරා අභිමන්ගේ අත තල්ලු කරලා තමන්ගේ කාමරයට ගිහින් දොර ලොක් කරගත්තා.



​එදා රෑ අභිමන්ට ඇස් පියවන්නවත් පුළුවන් වුණේ නැහැ. එයා මුළු රෑම සාලේ වාඩිවෙලා පසුතැවෙමින් හිටියා. තමන් කරපු නපුරු වැඩ, තිසාරාගේ ඇස්වලින් වැටුණු කඳුළු මතක් වෙද්දී අභිමන්ගේ හිත පිච්චිලා ගියා.


​පහුවදා ඉඳන් අභිමන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයාගේ අහංකාරකම, දඩබ්බරකම ඔක්කොම නැතිවෙලා ගියා.  තිසාරා කාමරයෙන් එළියට ආවම අභිමන් හරිම අහිංසක විදිහට එයා දිහා බැලුවා.


​"තිසාරා... මම උදේ කෑම පොඩ්ඩක් කන්න..." අභිමන් කිව්වා.


​තිසාරා අභිමන් දිහා බැලුවේ පුදුමයෙන්. කලින් හිටපු නපුරු යක්ෂයා වෙනුවට එතන හිටියේ හරිම සන්සුන්, පසුතැවෙන තරුණයෙක්.


​"මට කන්න ඕනේ නැහැ අභිමන්. මට මගේ ගෙදර යන්න ඕනේ," තිසාරා සීතල විදිහට කිව්වා.


​අභිමන් හිස නමාගත්තා. "උඹට ඕනනම් ගෙදර යන්න පුළුවන් තිසාරා. මම උඹව බලෙන් තියාගන්නේ නැහැ. හැබැයි... එක පාරක්... එකම එක පාරක් මට සමාවෙන්න බැරිද? මම උඹට ආදරේ කළේ මගේ මුළු හදවතින්ම... කැම්පස් එකේදී උඹව දැක්ක දවසේ ඉඳන් මගේ හිතේ හිටියේ උඹ විතරයි. මගේ රළුකම යටින් තිබ්බේ උඹව නැතිවෙයි කියන බය විතරයි."


​තිසාරා කිසිම දෙයක් නොකියා එතනින් යන්න ගියා. හැබැයි අභිමන්ගේ ඇස්වල තිබ්බ ඇත්තම පසුතැවීම තිසාරාගේ හිතට නොදැනී ගියේ නැහැ.



​තිසාරා ආපහු එයාගේ අම්මලාගේ ගෙදරට ආවා. හැබැයි අභිමන් තිසාරාව අතඇරියේ නැහැ. එයා හැමදාම හවසට තිසාරාගේ ගෙදරට ආවා. තිසාරාගේ තාත්තගේ කොම්පැණි එක ආයෙත් ගොඩනගන්න සම්පූර්ණයෙන්ම උදව් කළා. තිසාරා ආස කරන මල්, කෑම ජාති ගෙනත් දුන්නා. හැබැයි එයා කවදාවත් තිසාරාට බලපෑම් කළේ නැහැ.


​"තිසාරා... අභිමන් පුතා ගොඩක් වෙනස් වෙලා. එයා ඔයාට ඇත්තටම ආදරෙයි පුතේ. මනුස්සයෙක්ට වැරදෙන්න පුළුවන්, හැබැයි ඒ වැරැද්ද හදාගන්න කෙනෙක්ට සමාව දෙන එකයි වටින්නේ," දවසක් අම්මා තිසාරාට කිව්වා.


​මාසයකට විතර පස්සේ, තිසාරාට තදින්ම තද උණක් හැදුණා. ඒ ආරංචිය ලැබුණු සැනින් අභිමන් එයාගේ ඔක්කොම වැඩ අතඇරලා දිවගෙන ආවා. එයා රෑ පුරාම තිසාරාගේ ළඟින් වාඩිවෙලා, වතුර රෙදි තියමින් එයාගේ අතින් අල්ලගෙන හිටියා.


​"තිසාරා... මට සමාවෙයන්... උඹට රිද්දපු හැම මොහොතකටම මට සමාවෙයන්..." අභිමන් රහසින් කියමින් තිසාරාගේ අත මත ඔළුව තියාගත්තා. එයාගේ ඇස්වලින් වැටුණු කඳුළු බිංදුවක් තිසාරාගේ අතට වැටුණා.


​තිසාරා හිමින් ඇස් ඇරලා බැලුවා. එයා දැක්කේ තමන් වෙනුවෙන් අඬන, තමන්ගේ ආදරය පතන වෙනස්ම අභිමන් කෙනෙක්ව. තිසාරාගේ හිතේ තිබුණු අන්තිම කෝපයේ බිඳුවත් ඒ කඳුළු කැටේට දියවෙලා ගියා.


​තිසාරා හිමින් තමන්ගේ අනිත් අතින් අභිමන්ගේ කොණ්ඩය අතරින් ඇඟිලි යැව්වා.


​"අභිමන්..."


​අභිමන් එකපාරටම ඔළුව ඉස්සුවා.


​"තිසාරා! උඹට හොඳයිද දැන්?" අභිමන් කලබලයෙන් ඇහුවා.


​" මම ඔයාට සමාව දුන්නා..." තිසාරා හිමින් හිනාවුණා.


​අභිමන්ට තමන්ගේ කන් දෙක අදහගන්න බැරි වුණා. "තිසාරා... ඇත්තමද කියන්නේ? උඹ... උඹ මාව අතාරින්නේ නැද්ද?"


​"නෑ... මම දැක්කා ඔයා මං වෙනුවෙන් වෙනස් වුණු විදිහ. මට තේරුණා ඔයාගේ ඒ නපුරුකමට යටින් තිබුණේ ලොකු ආදරයක් කියලා. මටත් දැන් ඔයාව අතාරින්න බැහැ අභිමන්," තිසාරා කිව්වා.


​අභිමන් තිසාරාව තමන්ගේ පපුවට තද කරලා බදාගත්තා.


​එදායින් පස්සේ අනුකම්පා විරහිත, නපුරු, දඩබ්බර  අභිමන්, තිසාරා වෙනුවෙන් ලෝකයේ ඉන්න ආදරණීයම සහ පරිස්සම්කාරීම සැමියා බවට පත් වුණා. දෙන්නාම අතීතයේ අඳුරු මතකයන් අමතක කරලා, හරිම සතුටින් සහ ආදරයෙන් පිරුණු අලුත් ජීවිතයක් පටන් ගත්තා.


​*~ නිමි ~*




Tags

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!